VFX නැත්නම් Visual Effect සිංහලෙන් දෘශ්‍ය ප්‍රයෝග කියන දේ  සිනමාව වෙනස්ම මානයක් කරා රැගෙන ගිය අද වෙනකොට සිනමාවේ විශාල පෙරළියක් සිදුකරන තාක්ෂණික යෙදුමක් වෙලා ඉවරයි...යථාර්ථයට එහා ගය ෆැන්ටසියක් වගේම අතිතය විතරක් නෙවෙයි කල්පිත අනාගතය පවා ඇස් ඉදිරිපිට මැවෙන සිනමාකරණයේ ඒ මායාව මවන ⁣දෘශ්‍ය ප්‍රයෝග කියන තාක්ෂණික යෙදුම සිනමාවට නැතුවම බැරි දෙයක් වෙලා ඉවරයි...මොකද්ද මේ VFX වගේම මොනවාද මේ VFX වලින් කරන්නේ...කොහොමද කරන්නේ වගේම මොනවද කරලා තියෙන්නේ කියලා කියන්න තමයි අද මේ ලිපියෙන් සුදානම් වෙන්නේ....


VFX නැත්නම් Visual FX නැත්නම් Visual Effect යනු සජීවී  රූගත කිරීම් වලදී සිදු නොවන ඕනෑම චිත්‍රපටයක් හෝ වෙනත් චලනය වන මාධ්‍යයක් සඳහා නිර්මාණය කරන ලද, හැසිරවූ හෝ වැඩි දියුණු කරන ලද නිරූපණ විස්තර කිරීමට භාවිතා කරන යෙදුමකි.....ඒ කියන්නේ සරලවම චිත්‍රපටයක් හරි වෙනත් ඒ වගේ චලන රූප මාධ්‍යකදි අපිට ඇත්තටම කැමරාවට අසුකරගන්න බැරි කල්පිත අවස්ථා හෝ නිරූපණ සිදුකරන්න යෙදා ගන්න යෙදවුමක් තමයි දෘශ්‍ය ප්‍රයෝග කියලා කියන්නේ...


ඒ වගේම මේ ⁣දෘශ්‍ය ප්‍රයෝග වලින් පසුසේ රූපරාමු තාත්වික විදියට අරගෙන එන්න කැමරාවෙන් අසුකරගන්න සාමාන්‍ය රූපරාමු දෘශ්‍ය ප්‍රයෝග විදියට යොදාගන්න පසු නිමැවුම් එක්ක එකතු කරලා නැත්නම් සංකලයක් කරගැනීම සිදුවෙනවා...ඇත්තමටම රූගත කරන්න අමාරු නැත්නම් අවධානම් රූපරාමු වගේම ඇත්තටම පවතින්නේ නැති දේවල් නිර්මාණය කරනන මේ දෘශ්‍ය ප්‍රයෝග යොදාගන්නවා....මේකට CGI එහෙම නැත්තම් Computer-genarated Imagery (පරිගණක ආශ්‍රිත රූප) හා VFX sofware නැතහොත් විශේෂ දෘශ්‍ය ප්‍රයෝග මෘදුකාංග භාවිතා කරනවා..චිත්‍රපටයක අධ්‍යක්ෂක හා සිනමැටෝග්‍රැෆිකරණ ශිල්පියාගේ අවශ්‍යතාවට අනුව දෘශ්‍ය ප්‍රයෝග නිෂ්පාදක විසින් ඒ ඒ  ප්‍රයෝග සිදු කරන අවස්ථාවලට Green screen වගේ දේවල් යොදාගෙන චිත්‍රපටය රූගත කිරීමෙන් පස්සේ පසු නිෂ්පාදන අවධිය යටතේ සිදු කරන දෙයක් තමයි මේ දෘශ්‍ය ප්‍රයෝග කියන්නේ...


Visual Effect (VFX) නැත්නම් දෘශ්‍ය ප්‍රයෝග වගේම Special Effect නැත්තම් විශේෂ ප්‍රයෝග කියන්නේ දෙකක්...VFX පරිගණක ආශිතයෙන් වගේම කලින් කිව්වා වගේ චිත්‍රපටයක පසු නිෂ්පාදනය අවධියේ සිද්ධ වුනත් Special Effect කියන දේ සිද්ධ වෙන්නේ රූගත කිරීම් අතරතුර...වාහන අතතුරු , ⁣පිපිරුම් වගේම තුවාල කැළැල් වගේ දේවල් තමයි මේ විශේෂ ප්‍රයෝග යටතට අයත් වෙන්නේ...The Revenant චිත්‍රපටයේ ඩිකැප්‍රියෝ වලහා සමඟ පොරබැඳීම VFX යොදගෙන තමයි කරන්නේ...ඒත් ඒ වෙලාවේ සිද්ධ වෙන තුවාල,ලේ ගැලීම් මේවා රූගත කරන අතරතුර සිද්ධ වෙන විශේෂ ප්‍රයෝග...


දැන් අපි බලමු VFX සඳහා යොදාගන්න මෘදුකාංග මොනවාද කියලා...


Common VFX Software 

🔹Adobe After Effects

🔹Maxon Cinema 4D

🔹Autodesk Maya

🔹Syntheyes

🔹3Ds Max

🔹Houdini

🔹Boujou

🔹Mocha

🔹Nuke


දැන් අපි බලමු චිත්‍රපට වලට යොදාගන්න VFX වර්ග මොනවාද නැත්නම් Type of Visual Effect මොනවාද කියලා....


මේ VFX නැත්නම් Visual Effect ප්‍රධාන වර්ග තුනක් යටතේ තමයි මෙහෙයවන්නේ...ඒ CGI,Composition වගේම Motion Capture විදියට...අපි දැන් මේ තුන ගැන වෙන වෙනම කතාකරමු...


Computer generated visual effect (CGI)





සරලවම CGI යනු නිර්මාණය කරගන්නා හෝ ගොඩනඟා ගන්නා පරිගණක චිත්‍රණයක් නැත්නම් Computer Graphic නිර්මාණයක්...ඒක මුද්‍රිත මාධ්‍යක්,පරිගණක සජීවිකරණයක්,වීඩියෝ හෝ රූපවාහිනි වැඩසටහනක්,වෙළඳ දැන්වීමක් විතරක් නෙවෙයි චිත්‍රපටයක් වගේ ඕනම දෙයක් සඳහා නිර්මාණය කරන හසුරවන්න පුළුවන් ද්විමාන හෝ ත්‍රිමාණ දෙයක් වෙන්න පුළුවන්..අද වෙනකොට චිත්‍රපටයක චරිත,වස්තු විතරක් නෙවෙයි අවට පරිසරය පවා මුළු මනින්ම මේ විදියට පරිගණක ආශ්‍රිතයෙන් නිර්මාණය කරගන්න පුළුවන් තරමට තාක්ෂණික දියුණුවක් ලබලා තියෙනවා..


ඉතිං අද වෙනකොට පරිගණකයෙන් දෘශ්‍ය ප්‍රයෝග මෘදුකාංගයක් හරහා චිත්‍රපටයක වුනත් ඕනම දෙයක් ප්‍රතිනිර්මාණය කිරීම විතරක් නෙවෙයි ඒවා තාත්වික විදියට ⁣නැත්තම් අැත්ත වගේ කියලා පෙන්නන්න පුළුවන් කියන්න ඕන තරම් උදාහරණ තියෙනවා වගේම ඒවා ගැන කියන්න අනවශ්‍යයි කියලා හිතනවා...


අපි ඇත්තටම ඇස් දෙකෙන් දැකලා නැති වුනත ටයිටැනික් නැව ඇත්තටම ඇස් වලින් දැක්කා...ඩයින⁣සෝරස්ලා,පිටසක්වල ජීවින් විතරක් නෙවෙයි මකරු පවා දැකගන්න පුළුවන් වුනේ මේ CGI නිසා...එතකොට CG Animation කියන්නේ ඩිස්නි ,පිකසාර් ,ඩ්‍රීම්වර්ක් වගේ චිත්‍රපට නිෂ්පාදන යටතේ අපි දැකපු ඇනිමේෂන් චිත්‍රපට වල කරලා තියෙන නිර්මාණ වලට...CGI නිර්මාණ එකතු කරලා හදපු අැනිමේෂන් චිත්‍රපට වල විකාශනයන් ගැන වෙනම අපි පස්සේ කතා කරමු...


Compositing and green screen VFX




මෙතනදී Composition නැත්තම් සංයෝජනය කියන්නේ වෙන වෙනම සකස් කල රූපරාමු එකට එකතු කිරීම...මේ විදියට සංයෝජනය කරන්න නම් ඒකට Green screen එකක් නැත්නම් Blue  Screen එකක් යොදාගෙන රූගත කරන්න සිද්ධ වෙනවා...මේ ක්‍රියාවලියට කියන්නේ Chroma Keyකියලා...


කෙටියෙන් Composition කියලා මෙතන කරන්නේ රූපරාමුවලට අපිට අවශ්‍ය කරන දෘශ්‍ය ප්‍රයෝග පසු නිෂ්පාද⁣නයේදි යොදන්න රූපරාමුවෙන් ඉවත් කරන කොටස් රූගත කිරීම් සිද්ධ වෙන අවස්ථාවේ කොළ හෝ නිල් තිර වලින් ආවරණය කරලා පසු නිෂ්පාදනයේදි මෘදුකාංගයක් භාවිතයෙන් ඒ කොළ හෝ නිල් තිර වෙනුවට වෙනමම පරිගණක ආශ්‍රිතයෙන් නිර්මාණය කරගත්ත කොටස් ආදෙශ කරන එක...


Chroma Key කියන්නේ  රූපයක විශේෂිත වර්ණ ඉවත් කිරිමේ ක්‍රියාවලිය...එහෙම නැත්තම් කලින් කියපු කොළ හෝ නිල් තිර අයින් කරන එක...මෙතනදී ඉවත් කරන්නේ ඕනම Solid Colour එකක් වෙන්න පුළුවන්...ඒත් සාමාන්‍යයෙන් ඉවත් කරන්නේ කොළ හා නිල් වර්ණ..ඒ නිසා තමයි Green හෝ Blue Screen චිත්‍රපට වලට යොදාගන්නේ...මේක නාමපදයක් වගේම ක්‍රියාපදයක් විදියටත් පාවිච්චි කරනවා...ඒ කියන්නේ "මං වීඩියෝ එක Chroma Key කලා" කිව්වත් හරි..නැත්තම් "මං වීඩියෝ එකට Chroma key පාවිච්චි කලා" කිව්වත් හරි...


අැයි කොළ වගේම නිල් විතරක් පාවිච්චි කරන්නේ?...අනිත් Solid Colour වුන රතු,තැඹිලි,දම් දුඹුරු වගේ පාටක් යොදාගන්න අැයි බැරි?..ඒකට උත්තරය තමයි ඕනම රූපයක න්තනම් රුපරාමුවක වැදගත්ම ⁣දේ මිනිස්සු..ඉතිං මිනිස්සුන්ගේ ඇඟේ පාට නැත්තම් Skin tone එකට ගැලපෙන්නේ නැති ඒ වගේම Solid Colour වලින් දීප්තිය වැඩිම වර්ණ දෙක විදියට කොළ වගේම නිල් යොදාගන්න එක Chroma Key එකේදී අනවශ්‍ය කොටස් ඉවත් කරගන්නකොට පහසු වෙනවා...ඒ වගේම මතක තියාගන්න ඕන අනිත් දේ තමයි..Green Screen එකක් පාවිච්චි කරනවා නම් ඉවත් කැන්නේ නැති කිසිම දේකට කොළ පාට නොගාවගන්න වගබලාගන්න ඕන...


දැන් අප් බලමු Green Sreen සහ Blue Screen දෙකෙන් තෝරගන්නේ මොකද්ද කියලා තීරණය කරන්නේ කොහොමද කියලා...Green , Blue වර්ණ දෙක තෝරගන්නේ ඇයි කියලා දැන් දන්නවා...ඒ දෙකේම Luminosity එක නැත්නම් දිප්තිය අනිත් වර්ණ වලට වඩා වැඩි වගේම Skin tone එකට සම්බන්ධ නැති නිසා...මේ දෙකෙනුත් ඩිජිටල් කැමරා වලට වගේම මෘදුකාංගවලටත් පහසුවෙන්ම අදුරගන්න පුළුවන්  , ට්‍රැක්  කරන්න පුළුවන් ,වෙන් කරගන්න ලේසි වර්ණය තමයි කොළ කියන්නේ...ඒකට හේතුව අනිත් වර්ණ වලට සාපේක්ෂව කොළ වර්ණයේ Luminance එක වැඩි නිසා...එ්ත් හිතන්න අපි ⁣එළිමහනේ විශාල පරිසරයක් වෙනමම නිර්මාණය කරලා ආදේශ කරනවා කියලා...ඒකෙදි අපිට ඇත්තටම තියෙන ගස් ඒ විදියටම අවශ්‍ය කරනවා නම් කොළ තිරයක් යොදලා අපිට ඒක කරන්න බැහැ...මොකද  එතකොට Chroma Key එකේදි  ගස් වල කඳ ඉතුරු වෙලා කොළ ටික නැති වෙලා යන නිසා....ඒ වගේ වෙලාවල් වලට අපිට නිල් තිරයක් යොදා ගන්න වෙනවා...


තව හිතන්න අපිට රූපරාමුවෙ මොකක් හරිදේකට,එක්කෝ ඇදුමකට වස්තුවකට කොළ පාට යොදන්න වෙනවා කියලා..එතකොට පාවිච්චි කරන්න වෙන්නේ නිල් තිරයක්...උදාහරණයක් විදියට හිතන්න විෂ්ණු දෙවියන්ගේ චරිතය සම්බන්ධ කරලා චිත්‍රපටයක් නිර්මාණය කලොත් අපිට නිල් තිරයක් යොදාගන්න බැහැ...එතකොට යොදන්න වෙන්නේ කොළ තිරයක්...


තව දෙයක් තියෙනවා...ගොඩාක් අදුරු එහෙම නැත්තම් රාත්‍රි දර්ශන වලට යොදාගන්නේ Blue Screen...අදුරු නැත්තම් රාත්‍රි රූපරාමු එක්ක දෘශ්‍ය ප්‍රයෝග සංයෝජනය කරනකොට නිල් වර්ණය පහසු වෙනවා වගේම Blue screen යොදාගන්නකොට Green Screen යොදාගන්නකොට භාවිතා කරනවා වගේ දෙගුණයක ආලෝකයක් අවශ්‍ය වෙනවා...සරලවම Daylight රූපරාමු වලට පහසුවෙන් Green Screen යොදාගනිමින් Composition සිදු කලහැකි අතර රාත්‍රි හෝ අදුරු  රූපරාමු සඳහා Blue Screen යොදාගෙන Composition සිදුකිරීම පහසු වෙනවා....


ඉහත කරුණු වලින් ඔයාලා VFX පාවිච්චි කරනකොට තෝරාගන්න ඕන Green Screen එකක්ද නැත්නම් Blue Screen එකද්ද කියලා තීරණය කරන්න අදහසක් ලැබුණා කියලා හිතනවා...


Motion Capture Visual effect 



මේ ගැන කතා කරන්න කලින් මේ තාක්ෂණයේ ආරම්භය විදියට ඇනිමේෂන් චිත්‍රපට වලදී යොදාගත්ත Rotoscope කියන්නේ මොකද්ද කියලා බලමු..



1887 දී ප්‍රංශ ඉනජිනේරුවෙක් වුන Charles-Émile Reynaud විසින් praxinoscope කියන රූප චලනය කරන යන්ත්‍රයෙන් 1892 දී ලෝකයේ මුලින්ම ඇනිමේෂන් චිත්‍රපටයක් පෙන්නන්න  සමත් වෙලා තියෙනවා...ඊට පස්සේ මේ ඇනිමේෂන් චිත්‍රපට වල චරිත වල චලනයන් තව ටිකක් තාත්වික කරන්න ඕන කියලා හිතලා Max Fleischer කියන සජීවීකරණ  ශිල්පියා මේ Rotoscope ශිල්ප ක්‍රමය හදුන්වලා දෙනවා...



ඒකෙන් කරන්නේ සජීවි චලන රූප එහෙම නැත්තම් Live Action Motion Picture පට රූපරාමුවෙන් රූපරාමුවට පිටපත් කරන එක...ප්‍රජෙක්ටරයක් වගේ උපකරණයකින් වීදුරුවක්පමත තියෙන තිරවලට ඇති කරන රූපරාමු වල ප්‍රක්ෂේපණය අතින් අඳින එක තමයි ඒකෙන් කරන්නේ....රූපරාමුවෙන් රූපරාමුවට පිටපත් කරගන්න නිසා ඒ විදියට චලනය කන ඇනිමේෂන් චරිත වල චලන තාත්වික විදියට නිරමාණය වුන ඒ තාක්ෂණය ඊට පස්සේ චිත්‍රපට වලටත් යොදාගත්තා... 


ජනප්‍රිය ස්ටාර්වෝර්ස් මුලින්ම ආපු  චිත්‍රපට ත්‍රිත්වයේ අසිපත් එළිය විහිදමින් චලනය කරවන්න යොදාගෙන තියෙන්නෙත් මේ Rotoscope තාක්ෂණය...කඩු විදියට යකඩ බට යොදාගෙන රූගතකරීම් කරලා ඊට පස්සේ Effect Technicians ලා අදාල රූපරාමු පිටපත් කරගෙන 

glowing lightsaber effect. එක නිර්මාණය කරලා තියෙනවා...අද වෙනකොට මේ Rotoscoping ක්‍රමට සිද්ධ වෙන්නේ පරිගණකය හරහා...


ඇල්ෆඩ් හිච්කොක්ගේ The Birds චිත්‍රපටයේ කුරුල්ලන්ගේ ප්‍රහාරයන් පෙන්නනන වගේම ඩිස්නිලාගේ Mary Poppins චිත්‍රපටයටත් මේ තාක්ෂණය යොදාගෙන තියෙනවා...ඉතිං ඔය විදියට Rotoscope තාක්ෂණය යොදාගෙන සිදුකරපු චිත්‍රපට විදියට Alice in Wonderland , Cinderella , A Scanner Darkly , Fantasia , I Lost My Body , Loving Vincent ,TRON කියන ඇන්මේෂන් චිත්‍රපට සලකන්න පුළුවන්...I lost my body කියන්නේ 2019 නිකුත් වුන චිත්‍රපටයක්..ඉතිං අදටත් මේ තාක්ෂණය ඇනිමේෂන් චිත්‍රපට වලට යොදාගන්නවා වගේම මේ වෙනකොට මේ වැඩේට Rotoscope Animation Software එකක් විදයට Rotoshop පාවිච්චි කරන්නෙ Bob Sabiston කියන ශිල්පියාගේ නිර්මාණයක සාර්ථක ප්‍රතිඵලයක් විදියට..ඒනිසා ඉස්සර වගේ අතින් පිටපත් කරනවා වෙනුවට චලන රූප පරිගණකයෙන්ම පිටපත් කරන්න මේ මෘදුකාංගයෙන් අද වෙනකොට පුළුවන් වෙලා තියෙනවා....



2006 දී ආපු Keanu Reeves , RDJ රංගනයෙන් දායක වුන A Scanner Darkly චිත්‍රපටය බලලා තියෙනවාද...මේ චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නේ Rotoshop භාවිතයෙන්...සති හයක Principle Photography නැත්නම් රූගත කිරීමෙන් පස්සේ මාස 18ක් ගිහිං තියෙනවා මේ විදියට Rotoshop හරහා ඇනිමේෂන් චිත්‍රපටයක් විදියට නිර්මාණය කරන්න...


දැන් අපි Motion Capture Visual Effect ගැන කතා කලොත් මේකෙන් වෙන්නේ Rotoscope තාක්ෂණයෙන් කලා වගේම දෙයක්..සජීවි මිනිස් චලනයන් පටිගත කරගන්න නැත්නම් ට්‍රැක් කරගන්න තාක්ෂණයට තමයි Motion Capture නැත්නම් Mocap කියලා කියන්නේ..සිනමාවට විතරක් නෙවෙයි රො⁣බො තාක්ෂණය,වීඩියෝ ගේම් වලටත් මේ මිනිස් චලනයන් පටිගත කරන තාක්ෂණය යොදා ගන්නවා..ඒ විදියට පටිගත කරගන්න චරිත පරිගනකයෙන් නිර්මාණය කරගන්න 2D හෝ 3D චරිත වලට ආදේශ කරන කරලා සාර්ථක,තාත්වික  CGI නිර්මාණ මේ වෙනකොට ලෝකයේ තාක්ෂණික පෙරළියක් කරලා ඉවරයි...


මිනිස් සිරුරේ චලනය වන ස්ථාන ( අස්ථි හා මාංශ පේෂි) වලට  සම්බන්ධ කෙරුණු විශේෂිත සලකුණු (Passive Markers හෝ Active Markers ලෙස මේවා හදුන්වයි...චලන සංවේදි චුම්බක හෝ LED යොදා ගනියි..) වලින් අසුකරගන්නා චලනයන් පරිගණකයෙන් නිර්මාණය කරගත් චරිත වලට ආදේශ කිරීම සිදුවෙයි...අපි දැකපු King Kong , Thanos , Gollum  වගේ චරිත එතකොට Mougli චිත්‍රපටයේ සත්තු, ඇවටාර් චිත්‍රපටය පවා නිර්මාණය කරලා තියෙන්නේ මේ විදියේ Motion Capture භාවිතයෙන්....ඇවටාර් චිත්‍රපටයට ජේම්ස් කැමරන් මේ විදියට පටිගත වෙන චලනයන් එවෙලේම බලාගන්න පුළුවන් විදියට Autudesk Motion Builder කියලා වෙනමම මෘදුකාංගයක් නිර්මාණය කරලා තියෙනවා...ඒකෙන් අධ්‍යක්ෂක ජේම්ස් කැමරන්ට වගේම නළු නිළියන්ටත් එයාලගේ චලනයන් එවෙලේම තිරයක  බලාගන්න පුළුවන් වෙලා තියෙනවා...ඒ වගේම තමයි ලබන අවුරුද්දේ දෙසැම්බර් එන්න තියෙන Avatar 2 චිත්‍රපටයට ඉතිහාසයේ පලවෙනි වතාවට Motion Capture සඳහා ජේම්ස් කැමරන් මිනිස්සු ⁣වගේම අශ්වයන් පවා යොදාගෙන තියෙනවා...



Russo Brothers අධ්‍යක්ෂණය කරපු Avengers  චිත්‍රපටයේ Hulk චරිතය වෙනුවෙන් Motion Capture යොදාගැනීම විශේෂ සිදුවීමක්...ඒ මොකද කිවවොත් Hulk චරිතයට Motion Capture යොදාගත්ත පලවෙනි අවස්ථාව ඒක නිසා..ඒ කියන්නේ අපි අනිත් චිත්‍රපට වල දැක්කේ CGI හරහා නිර්මාණය කරපු Hulk කෙනෙක්...⁣එතකොට GOT වල මකරු කියන්නේ CGI වලින් විතරක් කරපු නිර්මාණයක්...CGI  හා Motio Capture වලින් ඇදුම් පවා නිර්මාණය කරනවා...Avengers චිත්‍රපට මාලාවේ අපි දැකපු ගොඩාක් චරිත වල ඇදුම් ඇත්තටම Mocap හා CGI යොදාගෙන නිර්මාණය කරපු ඇදුම්...





VFX වලින් අළුත් අළුත් දේවල් අත්හදා බලපු ඒවාට දෙන්න පුළුවන් තව උදාහරණයක් තමයි 1999 නිකුත් වුන The Matrix චිත්‍රපටයේ Bullet Time කියන දර්ශනය...ස්මිත් නියෝ ගොඩනැගිල්ලක් උඩ වෙඩි තියාගන්න දර්ශනය මතකයි නම් එතන ස්මිත් වෙඩි තියන වෙලාවේ නියෝ දණහිස් වලින් පිටුපසට පහත් වෙලා ඒවගෙන් බේරෙන විදිය මතකද?...ස්ලෝ මෝෂන් විදියට පෙන්නන ඒ අවස්ථාව රූගත කරලා තියෙන්නේ ස්ටිල් වීඩියෝ කැමරා ( වීඩියෝ එකක් තනි රූපරාමුවක් විදියට සටහන් වෙන විශේෂ ඉලෙක්ට්‍රෝනික කැමරා විශේෂයක්)  122 ක් නියෝ වටේ ස්ථානගත කරලා...ඒ කැමරා පේන්නේ නැති වෙන්න Green Screen රවුමක් නියෝ වටේට යොදලා තමයි ඒ සිදුවීම රූගත කරලා තියෙන්නේ..



ඉතිං මේ VFX කියන්නේ ඇත්තටම නූතන සිනමාවටත් වඩා අනාගත සිනමාවට නැතුවම බැරි දෙයක් වෙනවා නොඅනුමානයි...නිකම්ම චිත්‍රපටයක අහසක් පෙන්නවා වෙනුවට Blue Screen එකක් තියලා Post Production එකකකින් සිනමැටික් ලුක් එකක් එකතු කරන්න අද වෙනකොට සිනමාකරුවෝ පෙළඹිලා තියෙනවා....Parasite චිත්‍රපටයේ එහෙම කරලා තියෙනවා...ඒ චිත්‍රපටයේ අපි දැකපු ලොකු ගෙදර පවා බාගෙට බාගයක් VFX ගෙදරක්...ලංකාවට මේක අළුත් දෙයක් වගේම ලොකුවට අත්හදා බලන්න බැරි වෙන්නේ මේකට යන වියදම වගේම ලොකු මිනිස් ශ්‍රමයක්, ලොකු කාලයක් වැය කරන්න ඕන දෙයක් නිසා..ඒත් සෝරමරත්න දිසානායකගේ සුනාමි චිත්‍රපටයට Blue Screen යොදාගත්ත විදිය වීඩියෝ වලින් අපි දැක්කා...ඒ වගේම අපි අවරුදු ගානක් බලන් ඉන්න තාම බලන්න බැරි වුන ගජමෑන් ෆිල්ම් එකත් ලංකාවේ පලවෙනි වතාවට Motion Capture යොදාගෙන කරපු ඇනිමේෂන් චිත්‍රපටය වෙනවා....එත් ලංකාවේ මේ ක්ෂේත්‍රයට සම්බන්ධ දක්ෂයින් විශාල ප්‍රමාණයක් ඉන්නවා..ඒ අයගෙන් Rotoscoping චිත්‍රපටයක් හරි බලන්න තරම් මට්ටමක අපේ සිනමාව  තිබුණා නම් කියලා හිතෙනවා...මොකද කලින් කිව්වා⁣ වගේ මේක  කාලය මුදල් හා පරිශ්‍රමය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕන ක්ෂේත්‍රයක්....


අපි VFX සම්බන්ධ ඊළඟ ලිපියෙන් බලමු ෆිල්ම් එකක Green screen එකක් Blue Screen එකක් යොදාගන්න කලින් මොකද්ද කරන්න ඕන වගේම කොහොම ඒවාගෙන් වැඩ කරන්නේ කියලා...ඉතිං ලිපියේ අඩුපාඩු වගේම ක්ෂේත්‍රය ගැන දන්න අයගේ දැනුමත් අනිත් අය එක්ක බෙදාගන්න ආරාධනා කරනවා....


                                                                                                    සිනමා තක්සලාව වෙනුවෙන්
                                                                                                      අනුෂ්ක රසාංජන ද සිල්වා