චිත්‍රපට නිර්මාණය කිරීමේදි යොදාගන්න වැදගත්ම හා මුලික උපාංගය කැමරාව විදියට හදුන්වන්න පුළුවන්.කැමරාවක ඇස විදියට හදුන්වන්න පුළුවන් කැමරා කාච ගැන සම්බන්ධ මූලිකම දේවල් ගැන මේ ලිපියෙන් අපි විමසා බලමු.


කාච කියන ප්‍රකාශ උපකරණය  බිහිවෙන්නේ කැමරාව බිහිවෙන්නත් බොහෝ කාලයකට පෙරාතුවයි. කැමරා කාච විදියට සරලව හදුන්වන්නේ කැමරාවට සම්බන්ධ කරන තනි ⁣හෝ එකට එකතුල කල කාච කිහිපයකින් සැදුම්ලත් ප්‍රකාශ උපකරණයකට වෙනවා.


කැමරා කාච සඳහා යොදාගන්නේ උත්තල කාචයක් හෝ කාච කට්ටලයක් වෙනවා. වීදුරු කාච කට්ටලයක් යොදා ගන්නා අවස්ථා වලදී කාච අතරට ඇතැම් හේතු මත අවතල කාච සම්බන්ධ කරන විශේෂ අවස්ථාත් පවතිනවා..ඒ ගැන ලිපිය අවසානයේ කතා කරමු..


කැමරා කාච යටතේ මුලින්ම දැනගෙන සිටිය යුතු Focal Length , Aperture සහ Shutter Speed කියන්නේ මොනාද කියලා වෙන වෙනම හදුනගමු.


01.Focal Length


කාච ගැන කතාකරනකොට mm අගයන් වලින් වෙනස් වෙනස් කාච හදුනගන්න අපිට පුළුවන් වෙනවා. මේ mm (මිලිමීටර්) අගයන් වලින් පෙන්නන්නේ කැමරාවේ Focal Length නැත්නම් නාභි දුර.


නාභි දුර විදියට සරලව හදුන්වන්නේ කාචයේ නාභියේ සිට වස්තුවේ ප්‍රතිබිම්බය අතර දුර වෙනවා..


කැමරා කාචයක නාභි දුර වෙන්නේ කැමරාව අනන්තයේ නාභිගත කල විට  කාචයේ නාභියේ සිට කැමරාවේ සංවේදකය (Camera Sensor ) නැත්නම් ෆිල්ම් පටල පටය අතර දුර වෙනවා.කාචයේ නාභිය  විදියට හදුන්වන්නේ කාචය තුළට පැමිණෙන කිරණ එකතු වන ලක්ෂ්‍යය වෙනවා..


කාචයක විශාලනය වගේම දර්ශන ක්ෂේත්‍රය නැත්නම් Filed of view එක නිරූපණය කරන්නේ මේ නාභි දුරෙන් වෙනවා.මේ දුර සම්මතයක් විදියට mm (මිලීමීටර්) වලින් නිරූපණය කරනවා.Prime Lens වල නාභි දුර නැත්නම් Focal Length එක වෙනස් කරන්න බැරි නිශ්චිත අගයක් වගේම Zoom Lens වල උපරිම හා අවම නාභි දුර අතර විචලනය කරන්න පුළුවන් වෙනවා.


නාභි දුර අඩු වන විට නැත්නම් Focal Length එකඅඩු වෙනකොට දර්ශන ක්ෂේත්‍රය නැත්නම් Field of view එක වැඩි වෙනවා..නමුත් විශාලනය අඩු වෙනවා.මේක භෞතික විද්‍යාවේ ප්‍රකාශ විද්‍යාව යටතේ උත්තල කාච සම්බන්ධ මුලික ඉගැන්වීමක් වෙනවා..


ඉහත කාරණාව ප්‍රතිලෝම විදියට Focal Length එක වැඩි වෙනකොට Field of View එක අඩුවෙනවා..නමුත් විශාලනය වැඩි වෙනවා..


ඒ කියන්නේ 18mm කැමරා කාචයකින් වඩා වැඩි දර්ශන ක්ෂේත්‍රයක් අසු කරගන්න පුළුවන්. Wide Shots සඳහා අඩු Focal Length කාච යොදා ගන්න හේතුව මෙය වෙනවා..


      


02.Aperture 


Aperture  හරහා විස්තර කරන්නේ ඡායාරූපයක ආලෝක තීව්‍රතාවය වෙනවා. කැමරාවක Aperture අගය අඩු වැඩි කිරීමෙන් කාචය හරහා සෙන්සරයට හෝ ෆිල්ම් පටලයට ගමන් කරන ආලෝකය පාලනය කරන්න පුළුවන් වෙනවා.කාචයේ ඇති සිදුරක විශාලත්වය අඩුවැඩි කිරීමෙන් මේ අගය වෙනස්කර ගැනීම සිදු වෙනවා.


කාච සිදුර විශාල වල විට ආලෝකය වැඩියෙන් ඇතුල් වීමත් සිදුර කුඩා වන විට අඩු ආලෝකයක් ඇතුල් වීම සිදු වෙනවා. කාච සිදුරේ විශාලත්වය වැඩි වන විට දුර වස්තුන් බොඳ වෙයි. කාච සිදුරෙහි විශාලත්වය අඩු වන විට වස්තූන් වඩාත් තියුණු වෙයි.නැත්නම් Sharpness එක වැඩි වෙයි. එයට හේතුව කාච සිදුර විශාල වන විට වැඩි පරාසයක ආලෝක කිරණ කාචය වෙත ළඟා වෙනවා.එවිට දුර ඇති වස්තූන්ගෙන් පරාවර්තනය වන ආලෝකයට පෙර ළඟ ඇති වැඩි පරාසරයක වස්තුන්ගෙන් පරාවර්තනය වන ආලෝකය කැමරා  කාචය ග්‍රහණය කර ගැනීම සිදු වෙනවා. සිදුර කුඩා වනවිට ආලෝකය ග්‍රහණය කරගන්න පරාසය අඩු බැවින් ළඟ මෙන්ම දුර ඇති ආලෝක කිරණ පවා කාචය ග්‍රහණය කර ගැනීම සිදුවෙයි.


මේ සිදුරේ ක්‍රියාකාරිත්වය ඇසකට සමාන වෙයි. ආලෝකය වැඩි අවස්ථාවල කණිනිකා සිදුර කුඩාවන අතර ආලෝකය අඩු වු විට කණිනිකා සිදුර විශාලවේ. එසේම ඇපචර් අගය වැඩි වන විට සිදුර කුඩා වෙයි. ඇපචර් අගය අඩු වන විට කාචයේ සිදුර විශාල වෙයි. 


මේ අගය හදුන්වන්නේ f/ අගය නැත්නම් F-Stop ලෙසයි. එය 1.4,2,2.8,4,5,8,11 හා 16 වැනි අගයන්ගෙන් සමන්විතයි.එසේ නම් f/ අගය 1.4 දී සිදුර සිදුර විශාල අතර එනම් විශාල ඇපචර් එකක් පවතියි. f/ අගය 16 වන විට සිදුර කුඩා වී පවතින අතර එනම් ඇපචර් එක අඩු යැයි පැවසේ.


ඇපචර් එක වැඩි විට (f/ අගය අඩු) රූප රාමුවක් බොඳ කරගත හැකි වේ. එනම් අවශ්‍ය කරන වස්තුව පමණක් ⁣නාභිගත කර අනෙක් සියල්ල බොඳ කරගත හැකිවේ. මෙය Shallow Depth of field ලෙස හදුන්වයි...


ඇපචර් අගය අඩු එනම් සිදුර කුඩා (f අගය වැඩි) වන විට විශාල ක්ෂේත්‍ර ගැඹුරක් ලබාගන්නට පුළුවන් වන අතර එය Deep Depth of Field එකක් ලෙස හදුන්වයි.


    



03.Shutter Speed


චිත්‍රපටයක් රූගත කිරීමේදි හෝ නිශ්චල ඡායාරූපකරණයේදි සිදු වෙන්නේ කැමරාවේ Shutter එක විවෘත වීමෙන් පසුව කැමරාවේ Sensor එක හෝ පටල පටය ආලෝකයට නිරාවරණය වීමෙන් රුප සටහන් වීමයි. Shutter Speed කියන්නේ එක රූපරාමුවක් වෙනුවෙන් කැමරාවේ sensor එක හෝ පටප පටය ආලෝකයට නිරාවරණය වී පවතින කාලය වෙනවා. අගය තත්පර වලින් මිනුම් කරනු ලබනවා.


Shutter Speed එක වැඩි වනවිට කැමරාවේ සෙන්සර් එක හෝ පටල පටය ආලෝකයට නිරාවරණය වෙන කාලය අඩු වෙනවා නිසා ලැබෙන රූපය අදුරු වෙනවා..ඒ වගේම Shutter Speed එක අඩු වන විට පටල පටය ආලෝකයට නිරාවරණය වන කාලය වැඩි වෙන නිසා ඡායාරූපය දීප්තිමත් වෙනවා..


චිත්‍රපට හා රූපවාහිනි රූගතකිරීම් වලදී Shutter Speed එකත් එක්ක කතා කල යුතු අනිත් දේ නම් Frame Rate එක ⁣වෙනවා.පටිගත කරන යන්ත්‍රය හරහා පටිගත කරන හෝ සම්ප්‍රේෂණ යන්ත්‍රය හරහා සම්ප්‍රේෂණය කරන වීඩියෝපට වල වේගය ඇතුලත් නිශ්චල ඡායාරූප නැත්නම් රූපරාමු ( Frames ) වල වේගය Frame Rate හරහා දක්වනු ලබනවා. Frame Rate අගය දක්වන සම්මත ආකාරය තත්පරයට රූප රාමු ගණන නැත්නම් Frames per second කෙටියෙන් fps වෙනවා.


සිනමාපට වල දී සම්මත රූපරාමු වේගය නැත්නම් Frame Rate එක තත්පරයට රූපරාමු 24ක් (23.976 ආසන්න වශයෙන් 24 fps) වෙනවා. ඒ වගේම රූපවාහිනි වැඩසටහන් වල නම් Frame Rate අගය තත්පරයට රූපරාමු 30ක් නැත්නම් 30fps වෙනවා.




The 180° Shutter Rule


සිනමැටෝග්‍රැෆිකරණයේදි අනිවාර්යෙන් දැනගෙන සිටි යුතු සම්මත රීතිටක් විදියට අංශක 180 Shutter නීතිය පෙන්වන්න පුළුවන් වෙනවා..


මේ රීතිය අනුව Shutter Speed එක 1/ Frame rate ×2 අගයක තිබිය යුතු වෙනවා. ඒ අනුව 24 fps Frame rate එකක් සඳහා Shutter Speed එක 1/48 ක් තිබිය යුතු වෙනවා. නමුත් වර්තමානයේ DSLR වැනි කැමරා වල 1/48 අගය නොමැති නිසා 24fps සඳහා ආසන්න වශයෙන් 1/50 ක Shutter Speed එකක් යොදාගනු ලබනවා.


රූපවාහිනි වැඩසටහන් වල දී 30 fps අගයක Frame Rate එක පවත්වා ගන්න මේ අනුව 1/60 ක Shutter Speed එකක් තිබිය යුතු වෙනවා..


සාමාන්‍ය මිනිස් ඇසකින් දකින ස්රූපයකින් හොඳ Motion Blur එකක් පවත්වා ගන්න රූප 24 fps හා 1/48 යොදාගත්තාත් Shutter Speed එක ×4 හෝ ×8 ගුණයකින් වැඩි හෝ අඩු කරලා වෙනස් විදියේ ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙනවා..ඒ ගැන වෙනමම ලිපියකින් උදාහරණ සහිතව අපි ඉදිරියේදි කතාකරමු..




04.Depth of Field


ඡායාරූපයක හෝ සිනමාවේදි රූපරාමුවක වස්තූන් තියුණු ලෙස පැහැදිලිව පෙනෙන ප්‍රදේශය ක්ෂේත්‍රය වනවා. මේ ක්ෂේත්‍රයේ විශාලත්වය Depth of Field නැත්තම් ක්ෂේත්‍ර ගැඹුර ලෙස හදුන්වනවා.


මේ ක්ෂේත්‍ර ගැඹුර වැඩි කර වස්තූන් වැඩි ගනනක් ⁣කැමරාවෙන් නාභිගත කරනවා නම් එය Deep Depth of Field එකක් ලෙස හදුන්වනවා. Wide Shot ,Extreme Wide Shot,Establishing Shot වැනි Camara Shot වලදී මේ Deep depth of field නැත්තම් දිගු ක්ෂේත්‍ර ගැඹුර දකින්නට ලැබෙනවා.


ඉතා අඩු වස්තු ගනනක අඩු පරාසයක ක්ෂේත්‍ර ගැඹුරකට Shallow Depth of Field ලෙස හදුන්වයි. Extreme Close up සිට Full Shot දක්වා කැමරා Shots  මේ කෙටි පරාසයක ක්ෂේත්‍ර ගැඹුර හසුකර ගැනීමට යොදා ගනී.


Depth of Field නැතහොත් ක්ෂේත්‍ර ගැඹුරට බලපාන ඒවා නම්,

01.Aperture (ඇපචර්)
02.Camara-Subject Distance -කැමරාව හා වස්තුව අතර දුර
03.Fical Length of Lens - කාචයේ නාභි දුර
04.Size of Camara Sensor - කැමරාවේ සංවේදකයේ ප්‍රමාණය


    

05.Aspect Ratio


Film පටල පට ගැන කලින් සිනමා තක්සලාවේ පළ කරපු ලිපියේ Aspect retio ගැන දීර්ඝ වශයෙන් විස්තර කිරීමක් සිදුකරප නිසා කාච හා සම්බන්ධව පමණක් මෙතනදී අවධානය යොමු කරමු...


Aspect retio නැත්නම් දිග පළල අතර අනුපාතය කියන්නේ කාච තෝරාගැනීමේදීත් වැදගත් වෙන දෙයක් වෙනවා.කැමරා කාචය නිර්මාණය කරලා තියෙන්නේ APS-C ප්‍රමාණයේ කැමරා සෙන්සර් එකකට නම් ඒ කාචය Full Frame කැමරාවකට සම්බන්ධ කලොත් සෙන්සර් එකේ විශාලත්වයට ගැලපෙන තරම් ආලෝකයක් නොලැබෙනපනිසා ඡායාරූපය නැත්නම් රූපරමුව වටා අදුරු පැහැති සෙවනැල්ලක් ලැබෙනවා.


එවගේම APS-C කැමරා සෙන්සරයක් සහිත කැමරාවකට Full Frame කැමරා සඳහා නිර්මාණය කල කාචයක් සම්බන්ධ කලොත් කාචයෙන් වැඩිපුර නිකුත් වෙන ආලෝකය සෙන්සරයේ සටහන් නොවෙන නිසා ඡායාරූපය නැත්නම් රූපරාමුව ස්වයංක්‍රීයවම Crop වෙලා තමයි ලැබෙන්නේ.


  


මේ තමයි කාච ගැන කතා කරන්න කලින් කාච සම්බන්ධව දැනගෙන සිටිය යුතු මුලික කරුණු වෙන්නේ.දැන් ලිපිය ආරම්භයේදි අවධානය යොමු කරපු උත්තල හා අවතල කාච ද්විත්වයම කැමරා කාච වලට යොදා ගන්න අවස්ථාවක් සලකා බලමු.මෙය වීදුරු කැමරා කාච සම්බන්ධ දෝෂයක් වෙන Chromatic Aberration ගැන විමසා බලමු.






Chromatic Aberration 


වර්ණ වල තරංග වල දිග නැත්නම් තරංග ආයාම වෙනස් බව ඔබ දන්නවා ඇති.වීදුරු කාච හරහා ආලෝකය ගමන් කිරීමේදි ආලෝකයේ විවිධ තරංග ආයාම එකම ස්ථානයකට අභිසාරී නැත්නම් එකතු කිරීමට හැකියාව නොමැති වීමෙන් ඇතැම් ආලෝක තරංග පටල පටය හෝ සෙන්සරය මත එකතු වෙන්න පුළුවන් වෙනවා. ඒවා ඡායාරූපය හෝ පටලප⁣ටය මත පෙනීම Color Bleeding, Colour Shifting ලෙස විවිධ නම් වලින් හැදින්වුවත් මුලික වශයෙන් මේ  දෝෂය හදුන්වන්නේ chromatic Aberration ලෙස වෙනවා.


උදාහරණයක් විදියට රතු වර්ණයේ තරංග ආයාමය දිගු නිසා නාභියෙන් ඉවතට හා නිල් වර්ණයේ තරංග ආයාමය කෙටි නිසා නාභියට කලින් අභිසාරී වෙන්න පුළුවන්. මේ දෝෂය මඟ හරවා ගැනීමට උත්තල කාච අතරට අවතල කාච එකතු කර නිර්මාණ කල වීදුරු කාච යොදාගනිමින් ආලෝක තරංග එක ලක්ෂ්‍යයක් වෙත අභිසාරී කරගැනීම සිදු කරගන්නවා.



කාච සම්බන්ධ ඊළඟ ලිපියෙන් කැමරා ⁣කාච වර්ග මොනවාද හා එවායේ භාවිතයන් මොනවාද කියලා අවධානය යොමු කරමු.


                           සිනමා තක්සලාව වෙනුවෙන්
                            - අනුෂ්ක රසාංජන ද සිල්වා-