Fight Club - Movie Explanaton

  





ඩේවිඩ් ෆින්චර් කියලා කියන්නේ හොලිවුඩ් වල අපට හමුවන තවත් විශිෂ්ඨ සිනමා අධ්‍ය

ක්ෂකවරයෙක්.. The Game, Fight club, Gone Girl,Seven,The curios case of Benjamin Button වගේ ජනප්‍රිය චිත්‍රපට වල අධ්‍යක්ෂකවරයා වූ මේ සිනමා නිර්මාණකරුවාගේ සිනමාවල අනන්‍යතාවයට ලොකු වටිනාකමක් එකතු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්....නොලන් වගේම ෆින්චර් කියන්නේ සිනමාව වෙනස්ම දෘෂ්ඨි කෝණයකින් දකින ⁣ඒ හරහා සිනමාව ගැඹුරින් ස්පර්ශ කරන අධ්‍යක්ෂකවරයෙක් කියලා කියන්න පුළුවන් ....

ෆින්චර්ගේ සිනමාපටයක් විදියට හැමෝටම මුලින්ම ඔළුවට එන චිත්‍රපටය තමයි Fight Club කියන්නේ...1999 අවුරුද්දේ නිකුත් වන මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත විදියට එඩ්වඩ් නෝර්ටන්,බ්‍රැඩ් පීට් වගේම හෙලේනා බොන්හැම් කාර්ටර් රංගනයෙන් දායක වෙනවා....ඉතිං අද මං සුදානම් වෙන්නේ මේ මාස්ටපීස් චිත්‍රපටයක් කියන්න පුළුවන් විශිෂ්ඨ චිත්‍රපටය කොටසින් කොටස විවරණය කරන්න....

අපි ⁣චිත්‍රපටයේ කතාව එක්ක කොටසින් කොටස පැහැදිලි කරගෙන යමු....මේ චිත්‍රපටයේ The Narrator නැත්තම් කථකයා විදියට තමයි එඩ්වඩ් නොර්ටන්ව හදුන්වලා දෙන්නේ....මං ඉස්සරහට මේ පැහැදිලි කිරීම අරන් යන්න ලේසි වෙන්න 'නැරේටර්' කියන වචනය වෙනුවට නොර්ටන් කියලම ඔහුව හදුන්වන්නම්...නොර්ටන් කියන්නේ කම්මැලි ජීවිතයක් ගෙවන ඕනවට එපාවට අකමැත්තෙන් රස්සාවක් කරන ඉන්සොම්නියාව නැත්තම් අතන්ද්‍රතාව කියන රෝගයෙන් පෙළෙන කෙනෙක්...මේ ඉන්සොම්නියා කියන්නේ කෙටිකාලීනව හරි දිගුකාලීනව හරි තියෙන්න පුළුවන් නින්ද යන්නේ නැති ලෙඩක්...සතියකට දවසක් දෙකක් වගේ නින්ද යන්නේ නැත්තම් ඒක කෙටිකාලීන තත්වයක් විදියටත් දිගුකාලීන තත්ත්ව වලදී මාස 03 ක හරි ඊට වැඩි කාලයක් හරි සතියකට දවස් 03ක් විතර නින්ද නොයන තත්වයක් තමයි පෙන්නුම් කරන්නේ...මේ රෝගයෙ ප්‍රාථමික ද්විතීයික කියලත් තත්ත්ව දෙකක් තියෙනවා...පලවෙනි තත්ත්වයේදි එ කියන්නේ ප්‍රාථමික ඉන්සොම්නියාවේදි ඒකට වෙනත් රෝග බලපාන්නේ නැහැ....ඒත් දෙවනි නැත්තම් ද්වීතියික ඉන්සොම්නියාවේදි ඒකට වෙනත් සෞඛ්යය රෝග බලපාන්න පුළුවන්...ඒ කියන්නේ විශාදය, ඇදුම, ක්ෂයරෝගය, පිළිකාව, ආතරයිටීස් හෝ පපුවේ දැවිල්ල වගේ රෝග තියෙනකොට මේ ද්වීතියික ඉන්සොම්නියාව ඇති වෙන්න පුළුවන්.....ඉතිං මේ නෝර්ටන් වෛද්‍යවරයක් හම්බවෙන්න ගියාම කියන්නේ මේකට බෙහෙත් නෙවෙයි ස්භාවික නින්දක් ඕන කියලා....ඊට පස්සේ නොටර්න් අර කලින් කියපු ද්වීතියික ඉන්සොම්නියාව තමන්ට තියෙනවා කියලා හිතනවා කියලා අපිට පැහැදිලි වෙන්නේ නොටර්න් පිළිකාව,ක්ෂය රෝගය,විශාදය වගේ රෝග තියෙන රෝගීන් සහාභාගී වෙන චිකිත්සක වලට සහභාගී වන නිසා....ඒ එක චිකිත්සාවකදී තමයි මෙයාට බොබ්ව හම්බවෙන්නේ....බොබ් කියන්නේ මුෂ්ක පිළිකාවක් තියෙන කෙනෙක් කියලා තමයි කියන්නේ....

නොටර්ගේ චරිතය කියන්නේ දේවල් හිතින් මවාගන්න දක්ෂයෙක් කියලා අපිට මුලින්ම පෙන්නන්නේ එයාගේ ගෙදර ගෘහ භාණ්ඩ වලින් පුරවන තැනදී...කොමඩ් එක උඩ වාඩි වෙලා සඟරාව බලන වෙලාවේ ඒ සඟරාවේ තියෙන දේවල් මනසින් මෙයා තමන්ගේ ගෙදර පුරවගන්නවා...ඒ සඟරාවේ අපිට පෙන්නවා "use your imagination" කියලා...ඒකෙන් තේරෙනවා මෙයා ඇත්තටම එතනදී මනසින් හිතනවා විතරයි කියලා....

ඊට පස්සේ තමයි මාර්ලා සින්ගර් කියන චරිතය එන්නේ....එයා මුලින්ම නොටර්න්ට හම්බවෙන්නේ මුෂ්ක පිළිකා චිකිත්සාවේදි...නොටර්න් චිකිත්සාවේදි බොබ් එක්ක අඬලා තමයි එයාගේ නින්ද නොයන ප්‍රශ්නයට උත්තර හොයාගත්තේ...ඒත් මාර්ලාගේ පැමිණීමත් එක්ක නොර්ටන්ට තව දුරටත් අඬන්න බැරි අපහසුතාවක් එනවා....නොටර්න් දැනගන්නවා මාර්ලා ඒකට එන්නේ බොරුවට කියලා...මෙතනදී හරියට මාර්ලා නොටර්න්ගේ පස්සෙන් එනවා වගේ එයා එන හැම චිකිත්සාවකටම එනවා....කොටින්ම නෝර්ටන්ගේ බල සතා නැත්තම් පවර් ඇනිමල් විදියට පේන්න ගන්නෙත් මාර්ලාව.....

(පවර් එනිමල් නැත්තම් බලවත් සත්ත්වයින් කියන්නේ පුරාණයේ ඉඳලා ෂර්මන්වරු විශ්වාස කරන මතයක්...ඒ කියන්නේ එයාලා කියනවා අපි හැමෝටම සතත්වයෙකුගේ ආත්මයක් තියෙනවා කියලා....අපේ තියෙන ඍණාත්මක සිතුවිලි නැති කරන්න,රෝගපීඩා වලින් ආරක්ෂා කරන්න මේ ආත්ම උදව් වෙනවා කියලා තමයි ඔවුන් විශ්වාස කරන්නේ....)

මාර්ලා චිකිත්සක වලට එන්නේ එයාට කිසිම ලෙඩක් තියෙන නිසා නෙවෙයි...මාර්ලා කියන්නේ සංචාරකයෙක් කියලා තමයි නෝර්ටන් අපිට කියන්නේ....ඒ වගේම නෝර්ටන් කියනවා,Her Lie reflected my lie කියලා..නෝර්ටන් චිකිත්සක වලට එන්නේ බොරුවට...මාර්ලාත් එන්නේ බොරුවට කියලා දන්න නෝර්ටන් මාර්ලාගෙන් බොරුවට එන්න හේතුව අහන වෙලාවේ නොර්ටන් කියනවා එයාට තව ⁣බොරුකරන කෙනෙක් ඉස්සරහා අඬන්න බැහැ කියලා...ඉතිං දෙන්නා තීරණය කරනවා චිකිත්සක වලට දෙන්නාට දවස් බෙදාගෙන එන්න...

නොර්ටන්ගේ මෝටර් රථ සමාගමක Recall Codinator විදියට තමයි එයාගේ රස්සාව කරන්නේ... ඒ වෙනුවෙන් එයාට තැනින් තැනට යන්න වෙනවා වගේම ඒ ගොඩාක් වෙලාවට ගුවන් යානා වලින් තමයි යන්න වෙන්නේ...ඉතිං ඒ අතරමඟදී මෙයා හිතනවා ගුවන්යානය අනතුරකට ලක් වුනා නම් කියලා පවා...නොටර්ගේ එපා වුණ කම්මැලි ජීවිතයට පොඩි හරි සතුටක් එන්නෙ මේ විදියට එයා හිතින් හිතන විකාර අදහස් නිසයි...මේ විදියට ගුවන් යානයක යනකොට තමයි නොටර්න්ට ටයිලර් ඩර්ඩන්ව හම්බවෙන්නේ....එතන ටයිලර්ට කලින් ඉඳගෙන ඉන්නවා පෙන්නන්නේ කළු ජාතික කාන්තාවක්...එකපාරටම එයා වෙනුවට ටයිලර් එතන ඉන්න එකෙන් තේරුම් ගන්න පුළුවන් එතන හිටපු කාන්තාවත් නෝර්ටන් හිතින් මවාගත්ත කෙනෙක් කියලා...

ටයිලර් කියන්නේ නෝටර්ගේ මනසේ මැවෙන චරිතයක් කියන එක චිත්‍රපටය බලපු ඔයාලා දන්නවානේ...ඒක ඔළුවේ තියාගෙන මෙතන ඉඳලා අපි ඉස්සරහට යමු....නෝර්ටන් ටයිලර් කියන චරිතය මවාගන්නේ එයාගේ ජීවිතයේ නැති දේවල් එහෙම නැත්තම් එ⁣යාගේ ඌනතා සම්පූර්ණ කරගන්න චරිතයක් විදියට...ව්‍යපාරයක් විදියට සබන් නිෂ්පාදනය කරලා බෙදාහැරීම සිදුකරන් යන නිදහස් සරල ඍජු චරිතයක් තමයි ටයිනර් කියන්නේ...ඒ වගේම ටයිලර් අමතර රැකියා කිහිපයක්ම කරනවා කියලා අපිට පෙන්නවා...⁣ප්‍රජක්ෂනිස්ට්,වේටර් වගේ රැකියා කිහිපයක් ටයිලර් කරනවා කියලා පෙන්නනවා...ඒත් ඇත්තටම ඒ එකක්වත් ටයිලර් කරන රස්සාවල් නෙවෙයි,ඇත්තටම නෝර්ටන් එයාගේ අමතර රුකියා විදියට කරන ඒවා කියලා අපිට හිතන්න පුළුවන් වෙන්නේ මේ දෙන්නාම එක්කෙනෙක් නිසා කියලා අපි දන්න නිසයි.....ඊළඟට ගුවන්තොටුපලෙන් එළියට ඇවිල්ලා නොර්ටන් එයාගේ බෑග් එකේ ප්රශ්නයක් වෙලා එතනින් එළියට එන්න පරක්කු වෙනවා...(මේ ගුවන්තොටුපලේ සිදුවන සිද්ධිය දැනට නිකම් ඔළුවේ තියාගන්න...එ ගැන ඉස්සරහට කතා කරමු...)

එතනදී එයා දකිනවා ටයිලර් කාර් එකක් හොරකම් කරගෙන පිටවෙලා යනවා....කොහොම හරි නෝර්ටන් එතනින් පිටත් වෙලා ගෙදරට ගිහිං බලනකොට මුළු ගෙදරම ගිනි අරන් විනාශ වෙලා....පොලීසිය කියනනේ ගෑස් කාන්දුවක් නිසා ශීතකරණයේ සම්පීඩකය පුපුරලා විනාශ වෙන්න ඇති කියලා...ඒත් අන්තිමට ටයිලර් කියනවා ගෙදර විනාශ කලේ අතින් හදපු ඩයින⁣මයිට වලින පිපිරෙව්වේ එයා කියලා...එතකොට ගුවන්තොටුපලෙන් කලින් පිටත් වන ටයිලර් ⁣නොර්ටන්ගේ ගෙදර ගිහිං ගෙදර පුපුරවලා....ඒත් ටයිලර් කියන්නේ නෝර්ටන්ම නේද?........

මං හිතනවා සමහර අය⁣ට මෙතන ටයිම් ලයින් එක ගැන අවුලක් තියෙනවා කියලා...ටයිලර් කියන්නේ නෝටර්න්ම නම් ටයිලර් කොහොමද කලින් ඇවිත් ගෙදර විනාශ කරන්නේ කියලා ප්‍රශ්නයක් ඇවිත් ඇති...මේ ෆිල්ම් එක බලනකොට අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕන නොර්ටන්ට ටයිලර් කරන කියන ඒවා මතක නැහැ...ඒ වගේම මේ කතාව අපිට කියන්නේ නෝටර්න්..අපිට රෑට පේන සමහර හීන වල සම්පුර්ණ සිදුවීම මතක නැහැ...ඒක ගැන තව කාට හරි කියන්න ගියාම අපි මතක ටික විතරක් කියලා අමතක වුන ටික පුළුවන් විදියට මතක කොටස් වලින් පුරවලා තමයි කතාව කියන්නේ...ඉතිං නෝටර්න් එයාට අමතක කොටස ගැන දන්නේ නැති නිසා අපිට කතාව කියන්නේ එයා ගෙදර එනකොට ගෙදර ගිනිඅරන් විනාශ වෙලා තිබුණා කියලා....ඒත් ඇත්තටම එයාම ඇවිත් ගෙදර විනාශ කරපු එකයි සිද්ධ වෙලා තියෙන්නේ....එතකොට අපිට තේරෙනවා මේ ටයිලර් කියන්නේ නෝර්ටන්ට පාලනය කරගන්න බැරි චරිතයක් කියලා...ඒ වගේම මේ ටයිලර් කියන්නේ වෙනමම චරිතයක් කියලා හිතන්න තරම් නෝටර් ⁣එයාගෙ රෝගයට ගොදුරු වෙලා ඉවරයි....

ඉතිං ආපහු මතක් කරනවා,මේ නෝර්ටන් කියන්නේ මේ චිත්රපටයේ නැරේටර් නැත්තම් කථකයා...

ඊට පස්සේ නොර්ටන් ටයිලර් දීපු අංකයට දුරකතන ඇමතුමක් ගන්නවා....ඒත් ප්‍රතිචාරයක් නැති නිසා ආපහු යන්න හදනකොට ඒ දුරකතනයටම ටයිලර් ඇමතුමක් ගන්නවා...එතන වෙන්නේ නොර්ටන් තමන් එක්කම කතා කරන එක කියලා දැන් අපිට තේරෙනවා....කොහොම හරි නොර්ටන් ඊට පස්සේ ටයිලර් එක්ක බාර් එකේදි හම්බවෙනවා...එතනදී දෙන්නා අතර වෙන සංවාදයෙන් අපිට මේ චරිත දෙකේ වෙනස පැහැදිලි වෙනවා වගේම නෝර්ටන්ගේ මනස ඇතුලේ තියෙන ටයිලර් කියන චරිතය ගෙදර විනාශ කලේ ඇයි කියලාත් පැහැදිලා වෙනවා....නෝරටන් කියන්නේ අද සමාජයේ බහුතරක් දෙනා වගේ ගෙවන 8-5 රස්සාවක් කරගෙන ගෙදර අත්‍යවශය වගේම අනවශය බඩු භාණ්ඩ පුරවගෙන රැල්ලට ජීවත් වෙනවා වගේ චරිතයක්....ඒ වගේ චරිත තමයි පාරිභෝගිකයෝ කියන්නේ....භාණ්ඩ හා සේවා මිලදී ගන්න පිරිස...ටයිලර් ඒකේ අනිත් පැත්ත..එයා හිතන්නේ බ්‍රැන්ඩ් ගැන....කොටින්ම රැඩිකල් චරිතයක්...ඒ වචනය අද සමාජයේ පාවිච්චි කරන්න සුදුසු වචනයක් නොවන තරමට ඒ වචනය දූෂණය වෙලා ඉවරයි..ඒ වුනත් ටයිලර් කියන්නේ රැල්ලට පිටින් යන රියල් රැඩිකල් අදහස් තියෙන කෙනෙක් කියන්න පුළුවන්....අර පාරිභෝගිකයන් කියන කොටසට භාණ්ඩ හා සේවා විකුණන කොටසකුත් ඉන්න ඕන...ඒ කොටසට තමයි ටයිලර් අයිති වෙන්නේ...එයාගේ රැඩිකල් ජීවිතේ ගොදුරක් වෙන නෝටර්ට අන්තිමට එයාගේ ගෙදර ඒ වෙනුවෙන් බිලි දෙන්න වුනා කියන එක තමයි සරලවම එතන යන සංවාදයෙන් අපිට පැහැදිලි වෙන්නේ...

දැන් තමයි කතාවේ වැදගත්ම කොටස පටන් ගන්නේ...ෆයිට් ක්ලබ් එක...මුලින්ම ටයිලර් නොටර්න් දෙන්නා අර බාර් එළියට ආවාම ටයිලර් කියනවා එයාට ගහන්න කියලා...ඒත් ඇත්තටම වෙන්නේ නෝර්ටන් එයාටම ගහගන්න එකනේ කියලා අපි දන්නවානේ....නෝටර්න් එයාගේ නින්ද නොයන ප්රශ්නයට උත්තර එයාම හොයාගන්නේ මේ ටයිලර් හරහා....

අර අමතර රැකියා කරන එක,සබන් හදන එක වගේම තමයි මේ ෆයිට් ක්ලබ් එකත් පටන් ගන්නේ...ටයිලර් ජීවත් වෙන Paper Street ගෙදර ගැන නෝටර්න් කියනවා ..ටයිලර් අවුරුද්දක් තිස්සේ මේ ගෙදර ජීවත් වෙලා තියෙනවා කියලා...ඒ කියන්නේ නොර්ටන්ගෙ සබන් නිෂ්පාදනය කරන එක අවුරුද්දක් තිස්සේ කරන් ගිහිං තියෙන දෙයක් කියලා ...

තමන්ටම ගහගන්න නොටර්න්ව දැකලා මේ පාරේ කරන ෆයිට් එකට තවත් අය එකතු වෙනවා....නොටර්න් කියනවා එයාගේ ජීවිතේ මේ සටන් නිසා වෙනස් වුන විදිය ගැන...ඉස්සර ගෙදර එන්නේ ආතතිය තරහා හැමදේම එක්ක,ඒ ඇවිල්ලා ගෙදර තියෙන වටින ගෘහභාණ්ඩ පිහදාලා අළුතින් ගෙවල් හොයන්න ඉන්ෂුවරන්ස් කම්පැනි එක්ක ගනුදෙනු කරනවා වගේ දේවල් කරපු ජීවිතේ දැන් වෙනස් වෙලා කියලා කියනවා...නොටර්න්ට එයාගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා කියලා තේරෙනවා....එ වගේම එයා දකිනවා අනිත් හැම පිරිමියෙක්ගෙන්ම ඒ වෙනස...දැන් එකට නමක් දෙනවා...ඒ තමයි ෆයට් ක්ලබ්...

ෆයිට් ක්ලබ් එකට එකතු වෙන්නේ දවස තිස්සෙම රස්සාව කරලා රෑට මන්සිය නිවාගන්න බාර් එකට එන ජාතියේ,රස්සාවක් නැතුව තැන තැන රස්තියාදුගහන ජාතියේ,අවුරුදු ගානක් ජීවත් වෙලා ඉඳලාත් ජීවත් වෙනවා කියලා නොදැනුණ ජාතියේ,ගෙවල් වල ප්රශ්න රස්සාවේ ප්රශ්න නිසා හෙම්බත් වුන ජාතියේ,ජීවිතයේ හොඳම කාලය ගෙවිලා ජීවත් වෙන්න තව අරමුණක් නැති ජාතියේ එ විදියෙ එක එක ජාතියේ පිරිමි අය...ඉතිං මේ ෆයිට් ක්ලබ් කියන්නේ සමාජයේ බහුතරයක් පිරිමින් නියෝජනය කරන එයාලාගේ ප්රශ්ක වලින් ඈත් වෙන්න වගේම පෞරුෂත්වය නැත්තම් පිරිමිකම පෙන්නන්න තෝරගත්ත,ගොඩනඟපු තැනක් කියලා කියන්න පුළුවන්....

දැන් ආපහු වතාවක් මාර්ලා නෝටර්න්ගේ ජීවිතයට එනවා...එකපාරටම කොල් කරලා මාර්ලා කියන්නේ එයා සියදිවි හානි කරගන්න යන්නෙ කියලා...කොහොම හරි අපිට පෙන්නනවා එතනට ගිහිං එයාව බේරගෙන එන්නේ ටයිලර් කියලා...ඒත් එතනට පොලීසිය එනවා...ඒ කියන්නේ නෝර්ටන් පොලීසියට කතා කරලා කියනවා මාර්ලා කියලා ගෑනු කෙනෙක් සියදිවි නසාගන්න හදන්නේ කියලා...ටයිලර් මාර්ලාව එක්කන් එනවා වගේම ඔවුන් මුළු රෑ පුරාම ලිංගික සංසර්ගයේ යෙදෙනවා කියලා පෙන්නවා...ඒත් මාර්ලා දන්නවා එයාව එක්කන් ඇවිත් රෑ පුරාම එයා එක්ක හිටියේ නෝර්ටන් කියලා..ඒකයි නෝටර්න් උදේ පුදුම වෙලා වගේ "ඔයා මගේ ගෙදර මොකද"කියාලා කරන්නේ ඇහුවම මාර්ලා ⁣කේන්තියෙන් පිටවෙලා යන්නේ....එදා ඉඳන් ටයිටන් විදියට මාර්ලා එක්ක ඇත්තටම රෑට ඉන්නේ නෝටර්න් වුනාට ඒ කිසි දෙයක් එයාට මතක නැහැ...

ඊට පස්සේ අපි දකිනවා නෝටර්න් සබන් හදන හැටි..ටයිලර් එක්ක යනවා කියලා පෙන්නුවට ඇත්තටම නෝර්ටන් මේ හැමදේම කරන්නේ තනියම.. සෙනසුරාදා රෑට ෆයිට් ක්ලබ් එකත් සතියේ අනිත් දවස් වල රෑට සබන් හදන්න වගේම මාර්ලා එක්ක එකතු වෙන එක තමයි නෝටර්න් එයාගේ නින්ද නොයන ප්රශ්නය නිසා රැය ගෙවාගන්න තොරගන්නේ...නොර්ටන් එයාගෙම අතට රසායනික ද්‍රවය දාගෙන වේදනාව විදින එක ටයිලර් හරහා සාධාරණීකරණය කරන්නේ වේදනාව,කැපකිරීම නැතුව කිසි දෙයක් ලැබෙන්නේ නැහැ කියලා....මේ අතරතුරදී මාර්ලා නෝර්ටන්ට එයාගේ එපාර්ට්මන්ට් එකට එන්න කියන්නේ එයාට පියයුරු පිළිකාවක් තියෙනවා කියලා සැක කරලා...නෝර්ටන් එතනට ගිහිං එළියට එනකොට හොඳට බැලුවොත් පෙනෙයි ඒක එපාර්ට්මන්ට් එකක් නෙවෙයි හොටෙල් එකක් කියලා...එතකොට මාර්ලා නැවතිලා ඉන්නේ හොටෙල් එකකද?..ඒ ඇයි...?ඒ ගැන ඉස්සරහට අපි කතා කරමු...එතකන් මතකයේ තියාගන්න..

එතනින් එළියට ආවම නෝර්ටන්ට ආපහු බොබ්ව හම්බවෙනවා...නෝර්ටන් දැනගන්නවා බොබ් අනිත් අය වගේම ෆයිට් ක්ලබ් එකට එකතු වෙලා කියලා...නෝර්ටන්ට අවශ්‍ය වෙනවා සතියේ අනිත් දවස් වලත් ෆයිට් ක්ලබ් එක කරන් යන්න...ඒකට රස්සාව ගෙදර ඉඳන් කරන්න බොස්ගෙන් අවසර ගන්න නොර්ටන් තෝරගන්නේ එයාටම පහර දී ගන්න එක....

ටයිලර් ෆයිට් ක්ලබ් එන අයට ගෙදර වැඩ දෙන්න ගන්නවා...ඒ ගෙදර වැඩ විදියට එයාලාට දෙන්නේ නොටර්න්ගේ ගෙදර විනාශ කලා වගේ දේවල්...සුඛොපභෝගි ධනපති පන්තියේ දේපල විනාශ කරන එක තමයි ටයිලර් සාමාජිකයන් හරහා කරන්නේ....මේ ලෝකෙ තියෙන මිලමුදල්, දේපල ,වස්තුව මේ දේවල් වලට නටන මේ දේවල් වල රූකඩ තමයි අපි කියන දේ ටයිලර් කියන්නේ...ඇත්තටම අපේ ජීවිත වල යථාර්ථය වෙන්නේ ඒකම නේද කියලා ටයිලර් අපිට හිතන්න දෙනවා...ඒ වගේම ටයිලර් මේ ෆයිට් ක්ලබ් එකට එකතු කරගන්නේ අර කලින් කියපු එක එක වර්ග වලට අයිති ඒ කියන්නේ ජීවිතය ගැන කලකිරිලා අරමුණක් නැති කොටස විතරයි කියලා අපිට පෙන්නන්නේ අර ⁣පොඩි කොල්ලෙක්ට උණ්ඩ නැති තුවක්කුවක් දික් කරලා ඉගෙනගන්න කියලා බය කරන සිද්ධිය හරහා.....

ඊළඟට ටයිලර් කරන්නේ කණ්ඩායමක් නිර්මාණය කරන එක...ඒක හදන අරමුණක් නෝර්ටන් නොදන්නවා කියලා තමයි පෙන්නන්නේ...ඒත් මේ හැම සැලැස්මක්ම නෝර්ටන්ගේ කියලා අපි දන්නවා...අරමුණක් නැති විනාශ වෙලා යන තරුණ ජීවිත වලට අරමුණක් දීලා හොඳ පෞරුෂත්වයක් ඇති කරවන හැටි ඒ කණ්ඩායම හරහා අපි දකිනවා.. හොරකම් කිරීම් හෝ පළිගැනීමක් නැතිව ධනපති පන්තිය බිඳ දමන මේ මෙහෙයුම ඔවුන් හදුන්වන්නේ Project Mayhem කියලා ...ඒ මෙහෙයුම පටන් ගන්නවා වගේම ඒක ගැන කතා කිරීම තියා ප්රශ්න අහන එකත් තහනම් කරන්නේ ටයිලර් එහෙම නැත්තම් ඒ තමන් කියලා නොදන්න නෝර්ටන් විසින්මයි.....

ඊළඟට අපි දකින්නේ තමන් විසින් තමන්වම අනතුරකට පත් කරගන්න දර්ශනය...මෙතන රියදුරු අසුනේ ඉන්නවා පෙන්නන්නේ ටයිලර් වුනාට ඇත්තටම එතන ඉන්නේ නෝරටන්...ඒක හොඳටම පේනවා අනතුරෙන් පස්සේ ටයිලර් නෝර්ටන්ව එළියට ඇදලා ගන්නවා පෙන්නන්නේ රියදුරු අසුන පැත්තෙන්...අනතුරට කලින් මොටර් රථයේදි ටයිලර් කියනවා ෆයිට් ක්ලබ් කියලා ආරම්භ කරපු දේ දැන් ප්‍රජෙක්ට් මේ'හැම් කියලා...ඒ වගේම ටයිලර් නෝර්ටන්ට කියනවා ජීවිතේ පාලනය කරන්න යන්නේ නැතුව ඒකට ඕන විදියට යන්න දෙන්න කියලා...ඉතිං තමන්ගේ ඔළුව ඇතුලින් ඇහුණ ඒ වචන නිසා නෝර්ටන් එයාගේ පලවෙනි වාහන අනතුරේ අත්දැකීම ලබා ගන්නවා....

අනතුරෙන් පස්සේ නෝර්ටන් සිහි නැතිව ඉදලා ආපහු නැඟිටිනකොට ටයිලර් අතුරුදහන් වෙලා...නෝටර්න් ගෙදර පහළ තට්ටුවට එනකොට හැමතැනම කට්ටිය පිරිලා ඉන්නවා දකිනකොට නොර්ටන් කියනවා ගෙදර හරියට දැන් ජීවත් වෙන දෙයක් (ජීවි වස්තුනක්)වගේ කියලා..දැන් ඒක "Planet Tyler"කියලා නෝර්ටන් හදුන්වනවා....මොකද මේ හැමදේම පටන් ගත්තේ ටයිලර් වගේම මේ වෙනකොට ඒක හරියට ලොකු හමුදාවක වගේ වෙලා...මේ වෙලාවේ තමයි ඔළුවට වෙඩි වැදුන බොබ්ව අරන් එන්නේ...හැමෝම එයාව වළදාමු කියනකොට නෝර්ටන් ඒකට විරුද්ධ වෙනවා....එයා කියනවා මෙයාගෙ නම රොබට් පෝල්සන් කියලා...ඊට පස්සේ හැමෝම ඒක පිස්සුවෙන් වගේ කියවන්න ගන්නවා....Project Mayhem එකට අළුත් නීතියක් එනවා,කෙනෙක් මැරුණොත් එයාට නමක් තියෙනවා කියලා....

ඊට පස්සේ නෝර්ටන් ටයිලර් හොයාගෙන යනවා...එයාට හම්බවෙන ටයිලර්ගේ ගුවන් ප්‍රවේශපත්‍ර වලින් ටයිලර් ගිහිං තියෙන හැම නගරයකටම නෝර්ටන් යනවා...එයා හේතුවක් නොදන්නවා වුනත් එයාට හිතෙන බාර් 50 කට විතර යනවා...ඒක හරියට ඩේජා වු වගෙ කියලා කියනවා...යන හැමතැනකම හරියට කලින් ගිහිං තියෙනවා කියලා එයාට හිතෙනවා...ඒකට හේතුව එ් හැමදේම තියෙන්නේ එයාගේ ඔළුවේ නිසා...මිනිස්සු මෙයාව ටයිලර් කියලා අදුරගත්තත් නෝර්ටන්ට හිතාගන්න බැරි වෙනවා මොකද්ද වෙන්නේ කියලා...එයා ඊට පස්සේ කතා කරන්නේ ⁣මාර්ලාට...මාර්ලාගෙන් නෝටර්න් ඇහුවම එයාලා කවදා හරි එකට හිටියද කියලා මාර්ලා කියන්නේ,"“You f*ck me, then snub me. You love me, you hate me. You’re sensitive, then you turn into an asshole. Does that describe our relationship, Tyler?එයා ඒ දෙනනා අතර සම්බන්ධතාවය ගැන කියන්නේ එ විදියටයි...අන්තිමට මාර්ලා නෝර්ටන්ට ටයිලර් කියලා ආමන්ත්‍රණය කලාම නෝර්ටන්ට මුකුත් හිතාගන්න බැරි වෙනවා...ඒ වෙලාවේදිම ටයිලර් ආපහු මතු වෙනවා...

එතනදී තමයි ටයිලර් නෝර්ටන්ට හැමදේම මතක් කරන්නේ...ටයිලර් විදියට නෝර්ටන් කරපු හැමදේම එතනදී මතක් කරනවා වගේම ටයිලර් කියනවා මාර්ලා ඕනවට වඩා දේවල් දන්න නිසා එයා ගැන බලාගන්න වෙනවා කියලා...ටයිලර් මේ වෙනකොට ගොඩනැගිලි කිහිපයක්ම පුපුරවන්න ලෑස්ති කරලා තියෙන්නේ....ඊට පස්සේ නොර්ටන් නින්දකට වැටෙනවා...එයා නගිටනකොට දුරකතනය එයා ඉස්සරහට තියෙනවා දකිනවා...ඒ හෝටලයෙන් පිටවෙනකොට එයාට නින්දිය අතරවාරයේ ගත්ත ඇමතුම් වල ලැයිස්තුවක නෝටර්න්ට දුන්නාට පස්සේ නෝර්ටන් දැනගන්නවා ඒ හැම අංකයක්ම ඒ ඒ ගොඩනැගිලි වල වැඩ බලන අයගේ කියලා...එ වගේම ඒ අයත් ටයිලර්ගේ මේ සැලැස්මට හවුල් කියලා නෝර්ටන් දැනගන්නවා....නෝර්ටන්ට හිතාගන්න බැරි තරම් පිරිසක් අන්තිමට මේ මෙහෙයුමට සම්බන්ධයි කියලා නෝර්ටන්ට තේරෙන්නේ පොලීසියට භාර වෙන්න ගියාම පොලීසියේ පවා මේ මෙහෙයුමට සම්බන්ධ අය ඉන්නවා කියලා දැනගත්තට පස්සේ...

දැන් යන්නේ අවසාන කොටසට...ඊට කලින් අපි මුලදී මඟ ඇරලා ආපු කොටස් වලට ආපහු යමු....ඒ කොටස් මඟ අරින්න හේතුව වුනේ මේ කතාවේ අවසානයේ අපිට පැහැදිලිවම ටයිලර් නෝර්ටන් දෙන්නාම එක්කෙනෙක් කියලා පැහැදිලිවම තේරුණත් නොපැහැදිලි වගේස සැඟවුණු කාරණා කිහිපයකුත් තියෙනවා....ඒ තමයි මේ බොබ් වගේම මාර්ලා කියන්නෙත් නෝර්ටන් හිතින් මවාගත්ත චරිත කියන එක......කොහොමද එහෙම කියන්නේ කියලා ප්‍රශ්නයක් එන නිසා ආපහු අපි මුලට යමු....බොබ් කියන්නේ මවාගත්ත චරිතයක් කියන්න හේතුව තමයි නෝර්ටන් මුලදී එයාගෙ නින්දයන්නේ නැති ප්‍රශ්නයේදි ඒකට සහනයක් විඳියට හොයාගන්නේ බොබ්ව...⁣බොබ්ට තුරුල් වෙලා ඇඬුවට පස්සේ එයාට නින්ද යනවා කියලා නෝර්ටන් කියනවා....ඒ වගේම බොබ් ගැන හැමදේම ගැන නෝර්ටන් අපිට කියන්නේ එයාව මුල ඉඳන්ම හොඳට අදුරනවා වගේ..ඒ කියන දේවල් වලින් වගේම බොබ්ට තියෙන කාන්තා පියයුරු වලින් පවා ඒ චරිතයේ අස්වාභාවික අතාත්ත්වික ගතියක් මුල ඉඳලාම තියෙනවා....ඒ වගේම බොබ් මැරෙන විදිය,ඒකත් හරියට ටයිලර් මැරෙන විදියටම ⁣ඔළුව පුපුරලා මැරෙන්නේ....

ඒ වගේම නෝර්ටන් බොබ්ව හදුන්වලා දෙන තැන කියනවා මෙයා Late Night program එකක් කරනවා කියලා...ඉතිං මේ බොබ් ගැන අදහස නෝර්ටන්ට ආවේ කොහොමද කියලා අපිට තේරෙන්නේ නෝර්ටන් කියන්නේ රෑට නින්ද නොයන නිසා ටීවී බලන්න පුරුදුවෙලා හිටපු කෙනෙක් කියලාත් අපිට එක තැනක පෙන්නන නිසා.....

ඊළඟට අපි මාර්ලා ඇත්ත නෙවෙයි කියන්නේ ඇයි බලමු...ටයිලර් අන්තිමට එකපාර අතුරුදන් වෙලා හෝටලයේදි ආපහු මතු වෙන සිද්ධිය මතකද...එතන ටයිලර් ඇදන් ඉන්නේ හරියටම මාර්ලා විතරම වගේ අඳින කළු පාට පිහාටු වගේ තියෙන ඇදුම...ඒ වගේම මාර්ලා දාගෙන ඉන්න අව් කණ්ණාඩියම තමයි එතන ටයිලර් දාගෙන ඉන්නේ...ඒ වගේම චිත්‍රපටය පුරාවටම අපි දකිනවා මාර්ලා වගේම ටයිලර් දෙන්නාම එකම විදියට සිගරට්ටුව දල්වලා එකම විදියට ඒක දුම්පානය කරන විදිය...ගොඩාක් වෙලායට දෙන්නාම එක වගේ ලයිටරයක් තමයි පාවිච්චි කරනවා පෙන්නන්නේ...ඒ වගේම ඒ දෙන්නාම අතට ලොකු මුද්දකුත් දාගෙන ඉන්නවා...ඉතිං නෝටර්න් මේ චරිත දෙක හිතින් මවාගන්නකොට එකවගේ ලක්ෂණ දෙන්නාටම දීලා තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්...තව දෙයක් තමයි මාර්ලා මුල ඉඳලා හරියට නෝර්ටන් පස්සෙන්ම එනවා වගේ එයා යන යන තැනට එනවා...අන්තිමට නෝටර්න් කියනවා එයා කරන බොරුව මාර්ලාගෙන් දකිනවා කියලාත්...මාර්ලා කියන්නෙත් නෝර්ටන් කියන එකේ තේරුම තමයි ටයිලර් කරන හැමදේම කරන්නේ නෝටර්න් වගේම මාර්ලා කරන හැමදේම කරන්නෙත් නෝර්ටන්ම තමයි....එතකොට මාර්ලා කියන්නෙත් නෝර්ටන්ගේ මනසේ ඉන්න තව චරිතයක්....

මුලදී නෝර්ටන් මාර්ලා එක්ක චිකිත්සක වලට එන දවස් බෙදාගන්නකොට යන ලොන්ඩරිය මතකද...එතනදී මාර්ලා එළියට ගන්නේ නිල් පාට පිරිමි කලිසම් වගයක්...එතන එතකොට ඇත්තටම වෙන්නේ නොටර්න් එයාගේම කලිසම් විකුණන එක...

ඒ වගේම අර ගුවන්තොටුපලේදී වෙන සිද්ධිය මතකද...නෝර්ටන්ගේ බෑග් එකේ වයිබ්රේට් වෙන දෙයක් තියෙන නිසා චෙක් එයාව තියාගන්නේ...එතනදී ඒ නිලධාරියා කියන්නේ ඒක Dildo එකක් කියලා...ඩිල්ඩෝ කියන්නේ සෙක්ස් ටෝයි එකකට...ඉතිං ටයිලර් මාර්ලාගේ කාමරයට යනකොට කබඩ් එක උඩත් එහෙම එකක් තියෙනවා කියලා පෙන්නවානේ...එතකොට එහෙම එකක් නෝටර්න්ගේ බෑග් එකට ආවේ කොහොමද කියන එක අපිට දැන් පැහැදිලි...මොකද ඒවා පාවිච්චි කරන මාර්ලා ඉන්නෙත් නෝර්ටන්ගේ ඔළුව ඇතුලෙමයි.....

ටයිලර් නෝටර්න්ගේ ගෙදර විනාශ කරනවා...ඊට පස්මේ නෝර්ටන් ටයිලර්ව හම්බවෙලා යනකොට කියනවා එයාට ඉන්න හොටෙල් එකක් හොයාගන්න ඕන කියලා...ඒත් ටයිලර් කියනවා එයාගේ ගෙදරට එන්න අහන්න කියලා..ඊට පස්සේ නෝර්ටන් කැමති වෙනවා ටයිලර්ගේ ගෙදර යන්න...ඒත් තමන්ගේ ඔළුවෙන මවාගත්ත කෙනෙක්ට ගෙයක් තියෙන්නේ කොහොමද...ඒ ක්යන්නේ පේපර් ස්ට්‍රීට් හවුස් කියන්නෙත් නෝටර්න්ගේ ඔළුවෙන් මවාගත්ත තැනක් විතරයි...ඇත්තටම හිටපු ගෙය විනාශ වුනාට පස්සේ නෝටර්න් කරන්නේ හොටෙල් කාමරයක නවතින එක...ඒ තමයි මාර්ලා නැවතිලා ඉන්නවා කියලා පෙන්නන හොටෙල් කාමරය....ඉතිං නෝර්ටන් එයාගේ ඔළුවෙන් මවාගත්ත චරිත වෙන්කරලා තියාගන්න තමයි මාර්ලා ඉන්නේ හොටෙල් කාමරයකත් ටයිලර් ඉන්නේ අර පේපර් ස්ට්‍රීට් හවුස් එකෙත් කියලා අපිට පෙන්නන්නේ...එතකොට මාර්ලා ටයිලර් එක්ක එකතු වෙන වෙලාවේදි නෝර්ටන් එකම වෙලාවේ ඒ චරිත දෙකම මවාගන්නවා...ෆිල්ම් එකේ විනාඩි 12 යි තත්පර 36 දී ටයිලර් එකපාරට තත්පරයකට අඩු කාලයකදී මතුවෙලා නැතිවෙනවා අපිට පෙන්නනවා...එතනදී නෝර්ටන් බොබ් මාර්ලා චරිත දෙකට අමතරව තව චරිතයක් මවාගන්න උත්සහ කලත් ඒක පුළුවන් වෙන්නේ නැහැ කියලා තමයි එතනදී අපිට තේරෙන්නේ...ඒත් ඊට පස්සේ එයාට බොබ්,මාර්ලා,ටයිලර් විතරක් නෙවෙයි තව ගොඩාක් දුර යන්න මනස හදාගන්න පුළුවන් වෙනවා..ඒ ගැන තව ටිකකින් කතා කරමු....

මාර්ලාගෙන් ටයිලර්ගේ ගෙදර දුරකතනයට එන පලවෙනි ඇමතුමේදි එයා කියනවා එයා සියදිවි නසාගන්න යන්නේ කියලා....එ්කට එයා කරලා තියෙන්නේ ancxiolytic කියන පෙති වැඩිපුර ගන්න එක..ෆිල්ම් එක මුලදී නොටර්න් වෛද්‍යවරයාගෙන් ඉල්ලන්නෙත් එහෙම බොහෙත් මොනවා හරි...දැන් අපි දන්නවා මාර්ලා කියන්නේ නෝටර්න්ම තමයි කියලා...ටයිලර් නැත්තම් නෝර්ටන්ගේ අනිත් කෙනා දැනගත්තම නෝර්ටන් සියදිවි හානිකරගන්න යන්නේ කියලා ටයිලර් පොලීසියට කතා කරලා කියනවා...මොකද නොටර්න් මැරුණොත් අනිත් හැමොමත් මැරෙනවා...එහෙම නැත්තම් මාර්ලා මැරෙන එක ගැන ටයිලර්ට හිතන්න කිසිම හේතුවක් තියෙන්න විදියක් නැහැ කියලා අපිට වුනත් තේරෙනවා...ඉතිං ඒ වෙලාවේ හොටෙල් කාමරයේ ඉඳලා එළියට යන්නේ මාර්ලා ටයිලර් කියලා පෙන්නුවට ඇත්තටම එතනින් යන්නේ නෝර්ටන්....

ඊළඟට මාර්ලා ටයිලර් දෙන්නා සෙක්ස් කරන සිද්ධිය..මේකෙදී වෙන්නේ මොකද්ද කියලා ටයිලර් කියන දෙබසකින් අපිට පැහැදිලි වෙනවා...ටයිලර් කියනවා "Self Improvement is Masturbation..now self destruction..."මේකේ ඉතුරු ටික පිටපතේ තියෙන්නේ "now self Destruction is the answer" කියලා...ටයිලර් මාර්ලා එක්ක සෙක්ස් කරනවා නම් මේ තුන්දෙනාම එක්කෙනෙක් නම් නොර්ටන් ඇත්තටම කරන්නේ masturbation නැත්තම් ස්වයං වින්දනය...එතකොට self improvement එක නැත්තම් ස්වයං අභිවෘද්ධිය ඇති වෙන්නේ කොහොමද කියන එක අපිට පෙන්නන්නේ ⁣ටයිලර් මාර්ලා දෙන්නා කෑගහනකොට නෝර්ටන් පොතක් කියවමින් හරි ව්‍යායාම කරනවා හරි පෙන්නලා...ඒ අතරතුර ගෙදර වහලේ කෑලි කඩන් වැටෙනවාත් අපිට පෙන්නනවා...

ඊළඟට හොටෙල් කාමරයේ ඉඳලා පොලීසිය එනකොට මාර්ලා ටයිලර් දුවන් යනකොට මාර්ලා කෑගහලා කියනවා එයා ගැනම "She is infectious human waste" කියලා...infactious human waste නැත්තම් මිනිස්සුන්ගේ ඇගේ තියෙන අමතර මේදයෙන් තමයි ටයිලර් නොර්ටන් දෙන්නා සබන් හදන්නේ...ඒ වචනය එහෙමම තව තැනක අපි දකිනවා...ඒ තමයි ඒ මේදය හොරකම් කරන්න යන ක්ලිනික් එකේ කුණු දාන තැන ඒ කුණුකූඩයේ ගහලා තියෙන්නෙත් Infectious Human waste කියලා...ඉතිං මාර්ලා කොහොමද ඒක දන්නේ කියන එකෙන් මේ මාර්ලා කියන්නේ නෝර්ටන්ම කියන්න අපිට තවත් සාක්ෂි හම්බවෙනවා...ඒ වගේම ටයිලර් මාර්ලා එක්ක සෙක්ස් කරනකොට රබර් අත් වැසුමක් දාගෙන ඉන්නවා පෙන්නන්නෙත් මේ නිසා කියන්න පුළුවන්....

දැන් අපි එමු නෝර්ටන්ගේ මනසේ බලවත්ම කොටසට...ඒ තමයි මේ Project Mayhem කියන්නෙත් ඇත්ත දෙයක් නෙවෙයි කියන එක...ඇත්තටම බොබ්,ටයිලර්,⁣මාර්ලා ඇරුණම අනිත් හැමදේම ගොඩනඟන්නේ ටයිලර්..ඒත් ඒ හැමකෙනාම ඇතිවෙන්නේ නෝර්ටන්ගේ මනසින්මයි...එයාලාගේ පාලනය ටයිලර් යටතේ තියෙන්නේ කියන්න පෙන්නන්න තියෙන සංකේතය විදියට තමයි අර අතේ තියෙන පිළිසුම් සලකුණ එයාලාගේ අතේ තියෙන්නේ...ඒ කියන්නේ නෝර්ටන් පවා පාලනය වෙන්නේ ඇත්තටම ටයිලර් යටතේ....එයාට ඕන වෙනවා නෝර්ටන්ගේ මනසේ සම්පූර්ණ පාලනය..ඒ වෙනුවෙන් තමයි එයා එයාගෙම කියලා හමුදාවක් හදන්නේ...අන්තිමට නෝටර්න් කියනවා Tyler's Planet කියලා...ඒ කාටවත් නම් නැහැ...ඒ වගේම එයාලා ඔක්කොම අදින්න ඕන එකම පාට ඇදුම...ඒ වගේම එයාලාට ප්රශ්න අහන්න බැහැ...ඒ හැමෝම තෝරගන්නේ පරීක්ෂණයකින් පස්සේ...ටයිලර් මෙහෙම කරන්නේ එයා කැමති නැහැ එයාලා හරියට මාර්ලා වගේ බොබ් වගේ නොර්ටන් මවාගෙන ඉන්න ප්රබල චරිත වගේ වෙනනා දකින්න...මොකද එහෙම වුනොත් එයාලාව පාලනය කරන්න ටයිලර්ට බැරිවෙනවා කියලා දන්න නිසා තමයි මාර්ලාට ටයිලර් එච්චර කැමති නැත්තේ කියලා අපිට තේරෙන්නේ එයා සෙක්ස් කලා වුනාට එන තැනක කියනවා She is a sport f*&% කියලා...ටයිලර් ඇත්තටම මාර්ලා ගැන හිතන්නේ නැහැ....ඒ වගේම බොබ් මැරෙන එක වුනත් අපිට හිතන්න පුළුවන් ඒක ටයිලර් නිසා වුන දෙයක් කියලා...මොකද එතකොට නෝටර්න් හරහා පාලනය වෙන්නේ ටයිලර් වගේම මාර්ලා විතරක් නිසා....අන්තිමට ටයිලර් මාර්ලාව හොයාගෙන යන්න හදනවා කියලා දැනගන්න නිසා තමයි නෝටර්න් එයාව පිටත් කරවන්නේ....

දැන් අපි අවසානයට එමු...දැන් කතාව පැහැදිලි කියලා හිතනවා...ටයිලර් එයාගේ මෙහෙයුම සම්පූර්ණ කරන්න ලෑස්ති වෙලා ඉන්නේ...අන්තිමට නෝර්ටන් ටයිලර්ට එයාගේ මනස පාලනය කරන්න නොදී තමන් අතට පාලනය ගන්නවා...ඒක තමයි තුවක්කුව තියෙන්නේ එයාගේ අතේ කියලා හිතුවම ටයිලර්ගේ අතේ තියෙන තුවක්කුව නෝටර්න්ගේ අතට එන්නේ...ඊට පස්සේ නෝටර්න් කරන්නේ එයා ඔළුවට වෙඩි තියාගන්නවා කියලා හිතාගෙන කම්මුලට වෙඩි තියාගන්න එක...ඒ නිසා තමයි ඒ උණ්ඩය ටයිලර්ගේ ඔළුව මැද්දෙන් යන්නේ....අන්තිමට එතනට මාර්ලා එනවා...ඊට පස්සේ සැලසුමේ විදියට ගොඩනැගිලි පුපුරනවා...එතකොට නෝටර්න් කියනවා "You met me at a very strange time in my life" කියලා...දෙන්නා අතරේ මීට කලින් ඇති නොවුන සම්බන්ධයක් හරියට ආදරය වගේ දෙයක් ඇතිවෙනවා කියලා එතනින් අපිට පෙන්නනවා...ඉතිං අන්තිමට දෙන්නාම අත් අල්ලගෙන විනාශ වෙන ගොඩනැගිලි දිහා බලන් ඉන්නවා..එතනත් ඒ දෙන්නාම එක වගේ ඇදන් ඉන්නේ...ඒ විදියට තමයි නෝර්ටන් එයාගේ මනසින් මවාගත්ත හොඳම චරිතය එක්ක අවසානය බලන්නේ....


ඉතිං මේ තමයි 1996 දී Chuck palahniuk රචනා කරපු Fight Club නවකතාව පාදක කරගෙන David Fincher අධ්යක්ෂණය කරපු Fight Club ගැන මං අරන් ආපු පැහැදිලි කිරීම....මේ තරම් දිග ලිපියක් මීට කලින් මං කරලාම නැති වුනත් මේ චිත්‍රපටය තේරුම් කරන්න අවශ්ය කරන හැමදේම මං අතින් ලියවුණා කියලා මං හිතනවා...ඇත්තටම මේ චිත්‍රපටය වචනයක් ගානේම ලොකු තේරුමක් තියෙන දැනට බිහිවෙලා තියෙන විශිෂ්ඨතම සිනමාපටයක් කියලා හදුන්වාදෙන්න පුළුවන් කියන එක මේ ලිපිය ලියපු මට වගේම මේක කියවන ඔයාලටත් පැහැදිලි වෙනවා ඇති කියලා මං හිතනවා.....ඉතිං නොතේරුණ දෙයක් තියෙනවා නම් වගේම මට මඟ හැරුණු දෙයක් තියෙනවා නම් කියන්න කියලාත් ආරාධනා කරනවා...


-අනුෂ්ක රසාංජන ද සිල්වා-





Post a Comment

0 Comments