කවුද චිත්‍රපට නිෂ්පාදකවරයා කියන්නේ?




චිත්‍රපට නිෂ්පාදකවරයා කියන්නේ චිත්‍රපටයක නිෂ්පාදන පිරිවැය දරණ පුද්ගලයා නැත්නම් චිත්‍රපටයක් වෙනුවෙන් මුදල් යොදවන පුද්ගලයා කියන මතය ලංකාවේ බහුතරයක් දෙනා දරණ වැරදි පොදු මතයක්. නමුත් ඇත්තටම කවුද චිත්‍රපට නිෂ්පාදකවරයා කියන්නේ වගේම ඔහුගේ භූමිකාව මොකද්ද යන කාරණාව එක්ක චිත්‍රපටයකට සම්බන්ධ වෙන විධායක නිෂ්පාදක,සම නිෂ්පාදක වගේ විවිධ නම්වලින් හදුන්වන නිෂ්පාදකවරු කවුද කියන එක විමසා බලන්නයි මේ සුදානම.


නිෂ්පාදකවරයා යනු කවුද?


චිත්‍රපට,කතා මාලා,රූපවාහිනි වැඩසටහන්,වෙළඳ දැන්වීම් වල නිෂ්පාදන කටයුතු ආරම්භ කරන මෙන්ම සම්බන්ධීකරණය,අධීක්ෂණය හා කළමනාකරණය කරන පුද්ගලයා නිෂ්පාදකවරයා නම් වෙයි.

ඔහු තනි මුදල් ආයෝජකයෙක් ලෙස හෝ නිෂ්පාදන සමාගමක් නියෝජනය කරන පුද්ගලයෙක් ලෙස හෝ  නිෂ්පාදනයකට සම්බන්ධ විය හැකිය.

චිත්‍රපට නිෂ්පාදනයක නම් සම්බන්ධීකරණය ,අධීක්ෂණය හා මුල්‍ය කළමනාකරණය යටතේ ඔහු නිෂ්පාදනයේ අරම්භයේ සිට අවසානය දක්වා සක්‍රීයව දායක වෙන වැදගත් චරිතයක් ලෙස හදුනාගන්න පුළුවන්.


නිෂ්පාදකවරයා සතු වගකීම් හා යුතුකම්

🔸ව්‍යාපෘතියක් ආරම්භ කිරීම හා එහි අයිතිය පිළිබඳව ඇති වන ගැටළු සොයා ඒවාට පිළියම් යෙදීම

🔸චිත්‍රපටයට සම්බන්ධ කර ගත යතු ප්‍රධාන තාක්ෂණික ශිල්පීන් එනම් තිරරචකයන්,අධ්‍යක්ෂකවරයා ඇතුළු අනිත් අංශ වලට සම්බන්ධ ප්‍රධාන ශිල්පීන් සම්බන්ධීකරණය.
🔸නිෂ්පාදනය වෙනුවෙන් වැයවෙන පිරිවැය සැලසුම් කිරීම හා ව්‍යාපෘතිය අදාල පිරිවැය තුළ නිවැරදිව ක්‍රියාත්මක වීම අධීක්ෂණය
🔸නිෂ්පාදන සැලසුමක් නිර්මාණය කර ගැනීම
🔸සංස්කරණය,ශබ්ද සංගීතය යෙදීම වැනි පසු නිෂ්පාදන කටයුතු වලදීද අධීක්ෂණය හා ඒවා සිදුවන ආකාරය  ගැන අවබෝධයෙන් සිටීම.
🔸අවසාන වශයෙන් චිත්‍රපටයට අදාල ප්‍රචාරණ කටයුතු ගැන වගකීම ලබා ගැනීම හා චිත්‍රපටය ප්‍රවර්ධනය.


චිත්‍රපට නිෂ්පාදකවරයාට අමතරව චිත්‍රපට නිෂ්පාදනයේදි විවිධ නිෂ්පාදකවරු දැකගන්න පුළු⁣වන් වෙනවා.විධායක නිෂ්පාදක,සහය නිෂ්පාදක, සම නිෂ්පාදක වගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන විවිධ නිශ්පාදකරු ඒ විදියට චිත්‍රපටයක් නිෂ්පාදනය වෙනුවෙන් දායක වෙන්න පුළුවන්.ඔවුන් ගැන වෙන වෙනම දැන් විමසා බලමු.


01.executive producer (විධායක නිෂ්පාදක)


විධායක නිෂ්පාදක කියන්නේ නිෂ්පාදනයක් අධීක්ෂණය කරන ප්‍රධානියා. විධායක නිෂ්පාදකවරයා ස්වාධීන පුද්ගලයෙක් හෝ චිත්‍රපටයක් වෙනුවෙන් මුදල් ආයෝජනය කරන සමාගමක්,ආයෝජකයෙක් නියෝජනය කරන කෙනෙක් වෙන්නට පුළුවන්.


විධායක නිෂ්පාදකවරයා නිර්මාණයේ අදහස හෝ සැකැස්ම මුලින්ම හදුන්වාදෙන නැත්නම් නිර්මාණය කරන කෙනා හෝ විය හැකි අතර  රූපවාහිනි වැඩසටහන් හා කතාමාලාවන් වල නිර්මාණකරුවන් හෝ තිරරචකයන් විධායත නිෂ්පාදකවරු ලෙස කටයුතු කරනවා සුලභව දකින්න පුළුවන් වෙනවා.


දැවැන්ත චිත්‍රපට නිෂ්පාදක සමාගම් වලින් සිදු කරන නිෂ්පාදනයන් වලදී විධායක නිෂ්පාදකවරයා අදාල සමාගමේ ප්‍රධානියා විය හැකි අතර ඇතැම් චිත්‍රපට විධායක  නිෂ්පාදකවරු යෙදවන මුදල වෙනුවෙන් ලාභය අපේක්ෂා කරන මුදල් ආයෝජකයන් ලෙස කටයුතු කරනු ලබනවා.


02. Co -Producer (සම නිෂ්පාදක)


සහය නිෂ්පාදකවරයා කියන්නේ තවත් නිෂ්පාදකවරයෙක් සමඟ හවුල් වෙලා නිෂපාදනයට දායක වන නිෂ්පාදකවරයාට වෙනවා.


03.Line Producer (රේඛීය නිෂ්පාදක)


චිත්‍රපට නිෂ්පාදන කාර්යයේදි නිෂ්පාදකවරු නියෝජනය කරමින් නිෂ්පාදනයට හවුල් වෙන නැත්නම් චිත්‍රපටයකට සම්බන්ධ වෙන අනිත් කාර්යය මණ්ඩලයත් එක්ක ඍජු සම්බන්ධතා පවත්වන නිෂ්පාදකවරයා රේඛීය නිෂ්පාදකවරයා වෙනවා. 


චිත්‍රපට නිෂ්පාදනයකට අවශ්‍ය කරන අනිත් කාර්යය මණ්ඩලය , නිෂ්පාදක සමාගම වෙනුවෙන් හෝ නිෂ්පාදකවරයා වෙනුවෙන් සම්බන්ධ කරගන්න ප්‍රධාන වගකීම පැවරෙන්නේ මේ රේඛීය නිෂ්පාදකවරයාටම වෙනවා. මොහු යටතේ ඉන්න අනිත නිෂ්පාදක අංශයේ ශිල්පීන් විදියට Production Manager, Production Coordinator ,Production Assistant යන ශිල්පීන් යටතේ රේඛීය නිෂ්පාදවරයාගේ වගකීම් බෙදී යනු ලබනවා.


04.Associate Producer (සහය නිෂ්පාදක)


liner Producer නැත්නම් රේඛීය නිෂ්පාදකවරයා යටතේ ඉන්න සහය නිෂ්පාදකගේ කාර්යය හා වගකීම් නිෂ්පාදනයෙන් නිෂ්පාදනයට වෙනස් වෙන්න පුළුවන්.නමුත් පොදු කාර්යයන් විදියට නිෂ්පාදන කාර්යය මණ්ඩලය (Crew) සංවිධානය කිරීම , පසුතල නිර්මාණයට අදාල  සම්බන්ධීකරණ කටයුතු වගේම ආලෝකකරණය හා ශබ්ද සැලසුම් අධීක්ෂණය වගේ කාර්යයන් මොහු  සතු වෙනවා.


මේ විදියට මේ ලිපියෙන් අවධානය යොමු කලේ චිත්‍රපට නිෂ්පාදන කාර්⁣යයේදි සම්බන්ධ වෙන නිෂ්පාදකවරු කවුද වගේම ඔවුන්ගේ කාර්යයන් මොනවාද යන වගයි.නමුත් රූපවාහිනි වැඩසටහන් නිෂ්පාදනයේදි මේ නිෂ්පාදකවරු වගේම ඔවුන් සතු කාර්යයන් මීට වඩා වෙනස් ස්රූපයක් ගන්නවා.ඒ ගැන වෙනත් ලිපියකින් ඉදිරියේදි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.


ඉතිං ගෙවී ගිය 2021 වසර වගේම 2022 වසරේදිත් සිනමා තක්සලාව සමඟ එකතු වෙලා සිනමාව සම්බන්ධ ලිපි පළකරන්නත් දැනුම බෙදාගන්නත් ආරාධනා කරනවා වගේම ලැබුවා වු නව වසර සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා යැයි සමූහයේ සියළු දෙනාට සුබ පැතුම් එකතු කරනවා...


                            සිනමා තක්සලාව වෙනුවෙන්
                            - අනුෂ්ක රසාංජන ද සිල්වා-

Post a Comment

0 Comments