ප්‍රංශ සිනමා ඉතිහාසය - 02




ප්‍රංශ සිනමා ඉතිහාසය ගැන අපි කලින් ලිපියේ කතා කලේ ප්‍රංශ සිනමාවේ ආරම්භය හා එහි ආරම්භක අවධියේ ප්‍රංශ සිනමාවේ  විශිෂ්ඨ  සිනමා නිර්මාණකරුවෙක් වු ජෝර්ජ් මෙලියස් ගැනයි...ප්‍රංශ සිනමා ඉතිහාසය ගැන ලිපි මාලාව කලින් කියපු විදියට කොටස් තුනකට අධ්‍යනය කරන්න පුළුවන්...


01.ප්‍රංශ සිනමාවේ ආරම්භය හා පළමු ගෝක යුද්ධයට පෙර ප්‍රංශ සිනමාව 

02.පළමු ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශ සිනමාව

03.දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශ සිනමාව


කලින් ලිපියේ මේ පළවෙනි මාතෘකාව කතා කරපු නිසා  අද මේ ලිපියෙන් අවධානය යොමු කරන්න යන්නේ පළමු ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශ සිනමාව ගැනයි...ඉතිං මේ කාලවකවානුවේ ප්‍රංශයේ සිනමා ධාරාවක් තුනක් ඇති වෙලා තියෙනවා...ඒ තමයි French Impressionist නැත්නම් උපස්ථිතිවාදී සිනමාධාරාව,Surrealism නැත්නම් අධිතාත්විකවාදී සිනමා ධාරාව හා Poetic Realism සිනමාධාරාව කියන තුන...ඉතිං මේ ධාරා තුනම ගැන මේ ලිපියෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා....


කලින් ලිපියේ කිව්වා වගේ පලවෙනි ලෝක යුද්ධයට කලින් තෝමස් අල්වා එඩිසන් වගේ ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදන සමාගම් යුරෝප සිනමාව ආක්‍රමණය කරන්න පටන් ගත්ත කාලවකවානුවේදි  පලවෙනි ලෝක යුද්ධය ඇති වුනාට පස්සේ යුරෝපීය සිනමාවට උදා වුනේ අවාසනාවන්ත කාල වකවානුවක්...යුද්ධයට අනිවාර්යෙන් කැදවීම් සිදු කිරීම සිනමාශාලා යුධ අවශ්‍යතා වලට භාවිතා කිරීම කරුණු නිසා යුරෝපීය සිනමාව මුළු මනින්ම වගේ ඇනහිටි තත්වයකට පස්සේ 1917 දී පමණ යුරෝපීය සිනමාව ඇමරිකාව  විසින් ආක්‍රමණය තව තවත් පහසු වෙලා තියෙනවා...


ප්‍රංශයේ ඒ කාලයේ ඇමරිකානු සිනමා ප්‍රදර්ශනය ක්‍රියාත්මක වෙලා තියෙන්නේ 1:7 අනුපාතයට...ඒ කියන්නේ ඇමරිකානු චිත්‍රපට 7 කට එක ප්‍රංශ චිත්‍රපටයක් විදියට තමයි චිත්‍රපට නිර්මාණය වෙලා තියෙන්නේ...



🔴ඊට පස්සේ ප්‍රංශ සිනමානිර්මාණකරුවන් පවා මේ ඇමරිකානු චිත්‍රපට නිර්මාණ ශෛලිය අනුගමනය කරන්න උත්සහ අරගෙන තියෙනවා...ඊට පස්සේ මේ ඇමරිකානු සිනමා ආක්‍රමණය හමුවේ ප්‍රංශසිනමාව නඟා සිටුවීමේ අභියෝගයට මුහුණ දෙන්න Louis Delluc,Able Grance සහ Marcel L'hebier  කියන නිර්මාණකරුවන් දරපු උත්සහයේ ප්‍රතිඵලයක් විදියට තමයි French Impressionist Cinema Movements නැත්නම් ප්‍රංශ උපස්ථිතිවාදය නම් සිනමා ධාරාව බිහිවෙන්නේ...


මේ සිනමාධාරාවේ ප්‍රධාන ලක්ෂණය වෙන්නේ චිත්‍රපටයේ රූපරාමු වලින් මනෝභාවයන් හා හැඟීම් ප්‍රකාශනය කිරීමයි....කොටින්ම සංස්කරණය හා ඡායාරූපකරණය මුල් කරගත්ත සිනමා ධාරාවක් තමයි මේ උපස්ථිතිවාදී සිනමාව කියන්නේ.....රේඛීය නොවන සංස්කරණයන්,විවිධ අත්හදා බැලීම් සිදුකරපු ආලෝකකරණයන් වගේම මේ සිනමා ධාරාවේ සුවිශේෂී අනිත් දේ තමයි මනෝවිද්‍යාත්මක හා ෆැන්ටසි පැත්තට අවධානය යොමු කර තිබීම...කාගේ හෝ මතකාවර්ජනයක් විදියට හරි නැත්නම් සිහිනයක් හෝ මනඃකල්පිත කතා තේමා තමයි මේ චිත්‍රපට වලට වස්තු බීජය වෙලා තියෙන්නේ...


මීට අමතරව කැමරාකරණය ගත්තොත් Close up කැමරා රූපකණ්ඩ හා High Angle Low Angle කැමරා කෝණ භාවිතය කැපී පේන්න තියෙනවා...ඒ වගේම චරිත වල වස්තු වල  දෘෂ්ඨි කෝණයෙන් නැත්නම් POV දර්ශනත් මේ සිනමාධාරාවේ විශේෂ ලක්ෂණයක් විදියට හදුන්වන්න පුළුවන්.....මිසෝන් සෙන් භාවිතයෙදී ආලෝකකරණය වගේම රංගභූමි සැකැස්ම හා පසුතලය ගැනත් අවධානය යොමු කරලා තියෙනවා මේ සිනමාධාරාවේ චිත්‍රපට හරහා බලාගන්න පුළුවන් වෙනවා...ඒ වගේම ඇමරිකානු සිනමාකලාවට වගේ අවධානයක් ලබාගන්න තාක්ෂණික අත්හදා බැලීමුත් මේ සිනමාධාරාවේදී සිදු වෙලා තියෙනවා...Abel Gance 1927 දී නිර්මාණය කරපු Napoleon චිත්‍රපටය මේකට හොඳම උදාහරණයක් වෙනවා... පුළුත් තිර ක්‍රමවේදය අත්හදා බලපු මේ නැපෝලියන් චිත්‍රපටයට අළුත් කැමරාකාච පවා අත්හදා බලලා තියෙනවා...


ඒ වගේම කිලින් කියපු POV දර්ශන වලට චරිත හෝ වස්තු වලට කැමරාව සවි කරලා තියෙනවා වගේම සැහැල්ලු කැමරාවක් තියන් ඉන්න කැමරාකරුවන්ව රෝද සපත්තු වලින් ගමන් කරවමින් කැමරාකරණය සිදු කිරීම වගේම කේබල් හරහා කැමරාව චලනය කරන්නත් විවිධ අත්හදාබැලීම් මේ සිනමාධාරාවේ සිදුකරලා තියෙනවා...


මේ සිනමාධාරාවේ ප්‍රධාන සිනමානිර්මාණකරුවන් හා ඔවුන්ගේ චිත්‍රපට ගැන දැන් අපි බලමු...


🔸Abel Gance (La Dixième symphonie 1918, J’Accuse 1919, La Roue 1922,  Napoléon 1927)

🔸Jean Epstein (Coeur fidèle 1923, Six et demi onze 1927, La Glace a Trois Face 1928, and The Fall of the House of Usher 1928)

🔸Germaine Dulac (The Smiling Madame Beudet 1922)

🔸Marcel L'Herbier (El Dorado 1921)

🔸Louis Delluc – (La Femme de nulle part 1922)

🔸Jean Renoir (Nana 1926)


"ප්‍රංශ සිනමාව සිනමාවක් විය යුතුයි...ප්‍රංශ සිනමාව ප්‍රංශ විය යුතුයි..."- Louis Delluc





🔴මීළඟට අපි කතා කරන්න යන්නේ ප්‍රංශයේ මීළඟට ඇතිවුන Surrealist නැත්නම් අධි තාත්විකවාදී සිනමා ධාරාව ගැනයි...


1924 දී Andre Breton (අන්ද්‍රේ බ්‍රෙටන්) The Surrealist Manifesto කියන පොතෙන්  හදුන්වලා දීපු මේ අධිතාත්විකවාදය සාහිත්‍ය හා චිත්‍ර කලාවටත් සම්බන්ධ වෙනවා...මේක සාහිත්‍ය, සිනමාව,චිත්‍ර කලාව වගේ කලාව කියන දේ තාත්විකත්වයෙන් එහාට අරන් ගිය අධිතාත්විකත්වයක් එකතු කරපු විශාල පෙරළියක් කියලා හදුන්වන්න පුළුවන්....


පලවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ වෙනසක් කරන්න ඕන කියන අදහසින් ඇන්ද්‍රේ ඇතුළු කිහිපදෙනෙක් එකතු වෙලා විප්ලවයක් වෙනුවෙන් අරගල කරලා තියෙනවා...ඒ අරගලවලින් තමන් හොයන වෙනසක් ඇත්තේ නැහැ කියලා තේරෙන මෙයාලා ඒකෙන් ඉවත් වෙලා ආවට පස්සේ ඇන්ද්‍රේ දකින හීනයක් තමයි මේ අධිතාත්විකවාදය බිහි වෙන්න හේතුවක් වෙන්නේ...අපි දකින හීන ඇයි අපිට පාලනය කරන්න බැරි කියලා හිතලා ප්‍රොයිඩ්ගේ උපවිඥාණය සම්බන්ධ න්‍යායන්ගෙන් මෙයාලා හිතුවා අපේ සිහින වලට සම්බන්ධ උපවිඥාණය සාහිත්‍යත් එක්ක සම්බන්ධ කරන්න...ඊටපස්සේ එයාලාගේ පුරොගාමිත්වයෙන් තමයි මේ තාත්විකත්වයෙන් එහාට ගිය නැත්නම් රියල් වෙනුවට Surreal සම්බන්ධව වෙනම සංස්කෘතියක් විදියට Surrealism බිහි වෙන්නේ....


ප්‍රොයිඩියානු මනෝවිද්‍යාව ආභාෂ කරගත්ත මේ අධිතාත්විකලකලා සම්ප්‍රදාය කිසිම සදාචාරමය,හේතුඵලවාදිි හෝ සෞන්දර්යාත්මක කොන්දේසි මත පදනම් නොවුන තනිකරම අභ්‍යන්තර චෛතසිකයන් ඒ කියන්නේ මේ හිතේ ඇතිවෙන සිතුවිලි මත ඇතිවුන එකක් කියලා අන්ද්‍රේ කියලා තියෙනවා...


මුලින්ම 1924 දී ඇන්ද්‍රේගේ පොතෙන් පස්සේ තව තව පොත සඟරා විදියට එළියට ගිය මේ සංකල්පය ඊට පස්සේ චිත්‍ර කලාවට සිනමාවට විදියට විවිධ ක්ෂේත්‍ර වලට විකාශනය වෙලා තියෙනවා...මේ නිර්මාණ වලට තේරුමක් නිර්වචනයකට  වඩා තිබුණේ හිතට එන දේවල ඔහේ නිර්මාණය කිරීමක්...ඒක මිනිහෙක්ගේ ඔළුවකට මලක් සම්බන්ධ කරනවා වෙන් පුළුවන්...නැත්නම් දියුවුණු ඔ⁣රලෝසුවක් වෙන්න පුළුවන්...නැත්නම් රුවල් නැවක රුවල් වෙනුවට සමනලයින් ඉන්න පුළුවන්..නැත්නම් මිනිහෙක්ගේ මුණ උඩින් ගඟක් ගලනවා වෙන්න පුළුවන්...මේ වගේ හිතට එන එන දේ නිර්මාණය කිරීමක් තමයි මේ නිර්මාණරැල්ල ඇතුලේ තිබුණේ....කලින් කිව්වා වගේ හීන පාලනය කරන දකින් අපේ උපවිඥාණයේ මැවෙන දේවල් අධිතාත්විකව දැක්වීම තමයි මේ විදියට අධිතාත්විකවාදී සිනමාවකට මාර්ගය විවෘත කරන්නේ...



අධිතාත්විකවාදි සිනමාව ගැන කතා කරනකොට කතා කරන්නම ඕන කෙනෙක් තමයි Salvador Dali කියන්නේ...ඩාලි කියන්නේ චිත්‍ර ශිල්පියෙක් කියලා ගොඩාක් අය දන්නවා වුනාට චිත්‍ර ශිල්පියෙක් වගේම සිනමානිර්මාණකරුවෙකුත් වෙනවා...යුරෝපය පුරාම Surrealism ගැන ව්‍යාප්ත වෙන කාලයේදි එන්න එන්න මේකට දේශපාලනය සම්බන්ධ වෙන්න ගන්න නිසා ඇන්ද්‍රේ බ්‍රෙටන්ගේ කණ්ඩායම විසිරෙන්න ගන්න කාාලේ තමයි ඩාලි පැරිස් නුවරට එන්නේ...ඩාලියට මේ Surrealist ගැන ලොකු උනන්දුවක් තිබිලා තියෙනවා...චිත්‍ර ශිල්පියෙක් විදියට සිය කලා ජීවිතය ආරම්භ කරපු ස්පාඤ්ඤ ජාතික මේ තරුණයා 1926 දී පැරිස් නුවරට එන්නේ ඩාලිගේ කලා ආභාෂයට හේතුවක් වුන පැබ්ලෝ පිකාසෝ හම්බවෙන්න..ඒ ගමන තමයි ඩාලිට මේ Surrealism ගැන එයාගේ කැමැත්ත අැති වෙන්න හේතු වෙන්නේ...1927 දී ඩාලිගේ Honey is sweeter than Blood වගේම Gadget and Hand චිත්‍ර දෙකම බිහිවෙන්නේ මේ Surrealism ආභාෂය කරගෙන...


1929 දී ඩාලි Surrealism චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වුන ලුවිස් බුනියෙල් එක්ක එකතු වෙලා නිර්මාණය කරන Un Chien Andaloub කෙටි චිත්‍රපටය නිර්මාණය වෙන්නේ මේ Surrealism චිත්‍රපටයක් විදියට...කාන්තාවකගේ ඇහැක් දැලි පිහියෙන් කපන දර්ශනයක් වගේම පියානෝ දෙකක් විවෘත කරලා බුරුවෙක්ගේ  මලකුණු ඇතුලත් කරනවා වගේ දර්ශන මේකේ තිබිලා තියෙනවා...බැලු බැලුමට කිසිම අර්ථයක් තාත්වික බවක් හේතුඵලයක් නැහැ...ඒ තමයි අධිතාත්විකවාදී කලාවේ ලක්ෂණය...


ඇත්තටම අධිතාත්විකවාදී සිනමාවේ අරමුණ කියන්නේ නිදහස් සිනමා ආකෘතියක් හරහා  ප්‍රේක්ෂකයා තුල ගැඹුරු පෙළඹවීමක් ඇති කරන එක මිසක් කලින් කතා කරපු උපස්ථිතිවාදී සිනමාවේ වගේ ජවනිකා වලින් මිනිසුන්ගේ අභ්‍යන්තර චෛතසිකයන් පෙන්වන අරමුණ නෙවෙයි කියලා සඳහන් වෙනවා....


Surrealism සිනමාධාරාවේ නැත්නම් සිනමාශෛලියේ ප්‍රධාන හා වදගත්  චිත්‍රපට හා නිර්මාණකරුවන් ගැන දැන් බලමු...


🔸පලමු Surrealism චිත්‍රපටය විදියට සඳහන් වෙන්නේ 1928 දී Germaine Dulac අධ්‍යක්ෂණය කරපු The Seashell and the Clergyman චිත්‍රපටයයි...


🔸බුනියෙල් හා ඩාලි 1928 දී නිර්මාණය කරපු Un Chein Andalou චිත්‍රපටය 


🔸Surrealism කලාව 1929දී බ්‍රෙ⁣ටන් කොමියුනිස්ට් පක්ෂයට එකතු වීමත් එක්ක දේශපාල මුහුණුවරක් ගන්න නිසා ප්‍රංශයේ මේසිනමා ධාරාව බිඳ වැටීම 1930 කාල වකවානුවෙන් පස්සේ සිද්ධ වෙනවා...ඊට පස්සේ ඩාලි ඇමරිකාවට ගිහිං මේ Surrealism කලාව ඇමරිකාව තුලත් ප්‍රචලිත කරන්න ගන්නවා...ඒකේ ප්‍රතිඵලයක් විදියට 1945 දී ඇල්ෆඩ් හිච්කොක් Spellbound චිත්‍රපටයේ එක්තරා ජවනිකාවක් ඩාලිත් එක්ක එකතු වෙලා නිර්මාණය කරනවා.. Spellbound චිත්‍රපටයේ විනාඩි 20ක Dream Sequence එක (චිත්‍රපටයේ විනාඩි කට සංස්කරණය කරපු )  තමයි මේවිදියට නිර්මාණය කරන්නේ...Surrealism  හොලිවුඩයට ගියපු මේ අවස්ථාව ⁣යුරෝපයෙන් පිට Surrealism වලට පිළිගැනීමක් ඇතිවුන ප්‍රධාන අවස්ථාවක් විදියට හදුන්වන්න පුළුවන්...


🔸Destino හිච්කොක්ගෙන් පස්සේ ඩාලිව ආපහු මේ Surrealism කලාව ⁣වෙනුවෙන් සම්බන්ධ කරගන්නේ ඩිස්නි සමාගමේ නිර්මාතෘ වුන වොල්ට් ඩිස්නි විසින්..

ඒ 1945දී ඩිස්නි ඩාලිට ආරාධනා කරන්නේ  ඩිස්නිගේ Destino කෙටි චිත්‍රපටයේ ස්ටොරි බෝඩ් එක අදින්න...ඒ විදියට ඩාලි මේක ඇදලා දුන්නත් මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ ඊට අවුරුදු 54 කට පස්සේ...ඉතිං මේ චිත්‍රපටය තමයි 2003දී නිකුත් වුන Destino චිත්‍රපටය වෙන්නේ...


🔸ඉතිං ප්‍රංශය හොලිවුඩය වගේ සිනමාකර්මාන්ත වලට පස්සේ මේ Surrealism කලාව දකින්න පුළුවන් අනිත් සිනමාකර්මාන්තය තමයි ඉතාලියානු චිත්‍රපට කලාව...ඒ තමයි ජනප්‍රිය ඉතාලියානු චිත්‍රපට අධ්‍යක්ෂක Federico Fellini  1963 දී නිර්මාණය කරන  8 1/2 චිත්‍රපටය....මේ චිත්‍රපටය ෆෙලිනි Surrealism කලාව අත්හදා බලපු චිත්‍රපටයක්..ඒ වගේම ෆෙලිනිගේ City of Women චිත්‍රපටයත් Surrealism ආභාෂය මිශ්‍රවුන චිත්‍රපටයක්විදියට සඳහන් වෙනවා....


🔸ජනප්‍රිය හොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂක ඩේවිඩ් ලින්ච්ගේ පලවෙනි චිත්‍රපටය වුන  Eraserhead චිත්‍රපටය 1977 දී නිර්මාණය වෙන්නෙත් මේ Surrealism ආභාෂයට අරන්....




🔴මේ විදියට තමයි මේ Surrealism සිනමාධාරාව ගැන කතාකරන්න තියෙන්නේ...ඊට පස්සේ ආපහු දෙවනි ලෝක යුද්ධයට කලින් ප්‍රංශ සිනමාව ගැන බැලුවොත් French Impressionism තරම් සාර්ථක  නැති සිනමා ධාරාවක් තමයි මේ Poetric Realism සිනමාධාරාව කියන්නේ...ඒත් මේ සිනමාධාරාව හරහා බිහිවුන චිත්‍රපට නිර්මාණකරුවන් අතින් ප්‍රංශයේ විශිෂ්ඨ වගේම සුවිශේෂී චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය වෙලා තියෙනවා....මේ සිනමාධාරාවේ පුරෝගාමියෙක් තමයි Jean Vigo කියන්නේ...Vigo ගේ L' Atalante වගේම මේ සිනමා ධාරාවේ අනිත් සුවිශේෂී නිර්මාණ හා නිර්මාණකරුවන්විදියට මේ අයව හදුන්වන්න පුළුවන්...


Jean Renoirගේ 1937 දී නිර්මාණය කරපු  La Grande illusion (The Gramd Illusion),1939දී නිර්මාණය කරපු La Regle du Jeu (The Rules of the Game) චිත්‍රපටය ප්‍රංශයේ එතෙක් මෙතෙක් නිර්මාණය වුන විශිෂ්ඨතම චිත්‍රපටයත් වනවා..මේ චිත්‍රපටයේ කැමරාකරණය,සිනමැටෝග්‍රැෆි වගේම ශබ්ද සංස්කරණයත් එක්ක ප්‍රංශයේ ⁣වෙනස්ම සාර්ථක අත්හදාබැලීමක් සිදු කරපු චිත්‍රපටයක් විදියටත් හදුන්වනවා....ඒ වගේම අනිත් නිර්මාණකරුවා විදියට Jacques Feyder හදුන්වන්න පුළුවන් වගේම එයාගේ නිර්මාණ විදියට Pansion Mmosas (1934), La Grand Jeu (1934) හදුන්වන්න පුළුවන් වෙනවා...





මේ සිනමාධාරාවේ තවත් සුවිශේෂි සිනමා නිර්මාණකරුවෙක් වෙන Marcel Carne දෙවන ලෝක යුධ සමයේ නිර්මාණය කරපු ප්‍රංශ සිනමාවේ විශිෂ්ඨ සිනමාපටයක් විදියට හදුන්වන 1945 දී නිකුත් වුන Les Enfants du Paradis (Children of Paradise)  චිත්‍රපටය සියවසේ ප්‍රංශ චිත්‍රපටය විදියටත් 1990 දශකයේදි නම් කරලා තියෙනවා....




මේ විදියට පළවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ ප්‍රංශ සිනමාව බටහිර හොලිවුඩ් සිනමා ආක්‍රමණයට අභියෝග කරමින් පිබිදීමක් ඇති වුනත් සාර්ථකම සිනමාධාරාව විදියට French New Wave නැත්නම් ප්‍රංශ නව ධාරාව ඇති වෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ඇති වෙන ප්‍රංශ සිනමාවේ පිබිදීමත් එක්කයි...ඒ සිනමාධාරාව වගේම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ ප්‍රංශ සිනමාවට වුන දේ ගැන අපි ඊළඟ ලිපියෙන් කතා කරමු....


                                    අධ්‍යනය හා ලිපි නිර්මාණය 
                                     -අනුෂ්ක රසාංජන ද සිල්වා-

Post a Comment

0 Comments