Hereditary - Movie Explanation

 



ඔන්න කාලෙකට පස්සෙ චිත්‍රපටියක් ගැන කතාකරන්නයි සූදානම..  ඉතින් මං අරගෙන ආවා එසේමෙසේ චිත්‍රපටියක්නම් නෙමෙයි.. මේක තිරගත උන කාලෙ Horror fans ලා අතරේ ඉතාම ජනප්‍රිය උන, අදටත් හොඳම Horror සිනමාපටයක් විදියට සැලකෙන Hereditary (2018) චිත්‍රපටය. මං මේක ගැන විශේෂයෙන් කතාකරන්න හිතුවෙ මේ චිත්‍රපටිය අනෙකුත් සමකාලීන Horror චිත්‍රපටිවලින් වෙනස් උනේ, සුවිශේෂී උනේ කොහොමද කියලා කියන්නයි. එහෙනම් ඉස්සෙල්ලම පසුබිම ගැනත් පොඩි හැඳින්වීමක් කරලම කතාවට බහින්නම්..


Hereditary (2018) චිත්‍රපටය Ari Aster නම් අධ්‍යක්ෂකවරයගෙ සිනමා නිර්මාණයක්. ඒවගේම තිර රචනයත් ඔහු විසින්මයි සිදුකරලා තියෙන්නෙ. Hereditary නිර්මාණය කරනකන්ම කෙටි චිත්‍රපට පෙලක්ම නිර්මාණය කරලා තිබුන Aster ඉන්පසුව 2019 වසරේදී Midsommar (2019) නම් චිත්‍රපටයත් නිර්මාණය කරනවා. ඉතින් Hereditary බලලා ඒක හොඳටම රසවින්දා නම් ඊලඟට බලන්න සුදුසුම එකක් තමයි Midsommar  කියන්නෙ.. ( හැබැයි මේ දෙකෙන් දෙන Horror රසයන් නම් එකිනෙකට වෙනස් ) ඉතින් තවදුරටත් කතාකලොත් මේ ෆිල්ම් එකට IMDB දර්ශකයේ 7.3 ක ඉතා ඉහල අගයක් ( Horror චිත්‍රපටියක් විදියට ගත්තොත් ඉහලම අගයක්) ලැබිලා තියෙනවා. තව මේකේ රඟපෑම් ගත්තොත් Alex Wolff, Gabriel Byrne, Toni Collette, Milly Shapiro කියන නලු නිලියන් (වැඩිය දැකලා පුරුදු අයනම් නෙමෙයි) ඉතාමත්ම විශිෂ්ඨ රංගනයක් සිදුකරනවා. විශේෂයෙන්ම Toni Collette විසින් රඟන Annie චරිතය මම මෑතකාලීනව දැකලා තියෙන අති විශිෂ්ඨම රඟපෑමක්.. මේ චිත්‍රපටිය මේතරම්ම බලන කෙනාගෙ මනසට කාවදින්න ඒ දක්ශ රඟපෑමත් ලොකු හේතුවක් උනා කියලා මට හිතෙනවා.. ඒවගේම අවසානයට ආදයම ගැන ගත්තොත් ඩොලර් මිලියන 10 ක් වගේ අඩු වියදමකින් නිර්මාණය උන මේක ලොවපුරා තිරගතවීම් වලින් ඩොලර් මිලියන අසූවක ආදායමක් ලබාගෙන තියෙනවා.. ඉතින් මේ චිත්‍රපටිය ආදායම, විචාරක ප්‍රේක්ශක ප්‍රසාදය යන අන්ත දෙකෙන්ම ඉතාමත්ම සාර්ථක වෙලා තිබෙනබව අමුතුවෙන් කියන්න ඕන නෑ..


දැන් අපි බලමු ඇයි මේ Hereditary මේ තරම්ම සුවිශේෂී වෙන්නෙ කියලා.. මුලින්ම කියන්න ඕන මේකේ cinematography සහ color tone එක ගැන.. මේක සාමාන්‍ය Horror චිත්‍රපටිවල දකින්න ලැබුණු ටිකක් අදුරු පාටට හුරු නිල්, අලු පාට colours වලින් මිදිලා සම්පූර්ණ වර්ණවත් colours යොදාගෙන තියෙනවා.. මේක නිකන් උඩින් පල්ලෙන් බලන් ගියානම් දැනෙන්නෙ නිකන්ම family drama එකක් බලනවා වගේ හැඟීමක්.. නමුත්  හරියට බලද්දි දැනෙන හැඟීමනම් ඊට හාත්පසින්ම වෙනස්.. ඊලඟට cinematography ගැන කතාකලොත් මේකේ ගොඩක් වෙලාවට අපිට කතාව ගැන අදහසක් අරගන්න ඉඩ ලබාදීලා තියෙන්නෙ මේකේ තියෙන visuals මගිනුයි. ඒ කියන්නෙ මේක මෙහෙමයි උනේ කියලා වචනයෙන් විස්තර කරනවට වඩා ඒක එකපාරටම බලාගන්නත් අමාරු සැඟවුණු සංකේතයක් විදියට, නැත්නම් Annie විසින් නිර්මාණය කරන කුඩා නිවාස ආකෘතියක දකින්න ලැබෙන දෙයක් විදියට පෙන්වලා දීලා තියෙනවා.. ඒවගේම ගොඩක් අවස්ථාවල කැමරාව එකම දර්ශනයේ තරමක් වෙලා බලන කෙනා ඒ මොහොතේ දැනෙන දේ හරියටම ග්‍රහණය කරගන්නකන්ම එකම විදියට තියාගෙන ඉන්නවා.. ඒක නිකන් හොඳට බලපන් උබට මේක තේරුම්ගන්න පුලුවන්ද කියලා නොකියා කියනවා වගේ.. ඉන්පස්සෙ බැලුවොත් මේක හොඳ Horror එකක් කියලා බලන්න අරගෙන ඒක බාගෙට නවත්තපු ගොඩක් අය නගන මැසිවිල්ලක් තමයි "අපෝ ඒක ගෙනම boring, හරියට හොල්මනක් කියලා එකෙක් වත් නෑ, Jumpscares නෑ. බලන් ඉද්දි නින්ද යනවා" කියන එක.. ඉතින් මේ සටහන බලලා මුල් වතාවට film එක බලන්න හිතන් ඉන්න කෙනෙක් නම් දෙන්න තියෙන ලොකුම අවවාදය තමයි ඔයා Jumpscares වලට ආසාවෙන් එහෙමත් නැත්නම් හොල්මනක් බලාගන්න ආසාවෙන්, එහෙමත් නැත්නම් කම්මැලිකම යවාගන්නත් එක්ක මේක බලන්න ඉන්නවනම් ඒ අදහස වහාම අත් ඇරගෙන වෙන conjuring වගේ ෆිල්ම් එකක් බලන්න.. මොකද එහෙම රසයක් බලාපොරොත්තුවෙන අයට හදපු චිත්‍රපටියක් නෙමෙයි මේක.. මටනම් හිතෙන්නෙ මේක හදලා තියෙන්නෙම ඔය jumpscares ඕන තැනටයි එපා තැනටයි ඔබපු සාමාන්‍ය සාම්ප්‍රදායික horror චිත්‍රපටි බලලා බලලම එකපාරට ෆිල්ම් එකේ sounds වෙනස් වෙද්දි, කැමරාව හැරවෙන විදියෙන් ඔන්න දැන් හොල්මනක් පේන්නයි යන්නෙ කියලා කලින්ම ඔලුවට ගිහින් පුරුදු උන හොල්මන මතුවෙන්නෙ කොහෙන්ද කියලත් ටක්කෙටම කියන්න පුලුවන් රසිකයොන්ට වෙනස්ම horror අත්දැකීමක් ලබාදීමේ අවශ්‍යතාවය නිසාමයි.. ඉතින් කියන්න තියෙන්නෙ ඒ අතින් මේ නිර්මාණය 100% ක් සාර්ථකයි. ඊලඟ විශේෂත්වය උන මේකෙ කතාව ගලාගෙන යන විදිය ගැන කතාකලොත් මේක හොල්මන් නිසා හිතේ ඇතිවෙන අපි මවාගත් බයට වඩා එදිනෙදා ජීවිතයෙදි විඳින්න වෙන ඉතාම කටුක අත්දකීම් වලට මූණදීම වෙනුවෙන් අපේ හිතේ නිරායාසයෙන්ම ඇතිවෙන බය එලියට ගන්න පුලුවන් ආකාරයේ කතාවක්. ඉතින් ක්‍රමක්‍රමයෙන් බැඳීම් වියැකිලා අනාගතයේ නොපෙනෙන විනාශය කරා දවසින් දවස ලංවෙන පවුලක සාමාජිකයන් අතර ඇතිවන සංසිද්ධීන් පෙලක් තමයි අපිට දැකබලාගන්න පුලුවන්. මේකේ ඇතැම් අවස්ථාවන් තියෙනවා දෙයියනේ මේ වගේ දෙයක් මටත් උනානම් මං මොනවයින් මොනවා කරාවිද කියලා අවිනිශ්චිතතාවයේ අපිව හිරකරලා තියන මොහොතවල්.. ඒ වෙලාවට අපිටත් ඒ මොහොතේ ඒ චරිතෙට දැනෙන කම්පනයම විඳින්න ලැබෙන විදියට කැමරාව වෙනස් නොකර ඒ අදාල චරිතේ මූනේ ඇතිවෙන හැඟීම් closeup shot එකක් විදියට තරමක් වේලාවක් එකදිගටම පෙන්වනවා.. ඉතින් ඒ දැනෙන මූසල හැඟීමෙන්, අවිනිශ්චිතතාවයේ භීතියෙන් අපිත් මිරිකිලා යනවා නිරායාසයෙන්ම..  ඒවගේම ඇතැම් අවස්ථාවන්වලදි කෑගැසීම්, හඬා වැලපීම් මගින් පවා ඒ මොහොතේ දැනෙන හිත කීරි ගැහෙන වේදනාව අපූරුවට දනවන්න මෙහි නලුනිලියන් සමත්වෙලා තියෙනවා.. ඒ අතරින් Toni Collette ගේ රංගනය අති විශේෂ එකක්... ඉන්පසුව තවදුරටත් කිව්වොත් අධ්‍යක්ශක Ari Aster තමන්ට පෞද්ගලිකව විඳින්න සිදු උන ඇතැම් අවස්ථාවන් මේ චිත්‍රපටිය වෙනුවෙන් යොදාගෙන තියෙනවා. ඔහු කියන විදියට අපිට චිත්‍රපටිය බලද්දි දැනෙන හැඟීම් බොහෝමයක් ඔහු සහ ඔහුගේ පවුලෙ අයට ඇත්තටම විඳපු ඒවා.. නමුත් මේ කතාවෙ දකින්න ලැබෙන පවුල සහ ඔහුගේ පවුල අතර නම් කිසිම සම්බන්ධයක් නෑ. Ari Aster ඒ ගැන කියලා තියෙන්නෙ මෙහෙමයි, 


“It’s related to certain things that had happened in my life and things that my family and I went through together,” he said. “But the movie itself is all invention. The feelings behind the film are personal, but none of the characters are surrogates for anybody in my family.”


ඉතින් මට දැනෙන විදියට Hereditary අනිත් horror ෆිල්ම් වලින් වෙනස්වෙන ආකාරයයි මං ඉහතින් සඳහන් කලේ.. ඇතැම් අයට මීටත් වඩා හේතු සහ අදහස් තියෙන්න පුලුවන් මේ ගැන. ඉතින් එහෙම තියෙනවා නම් කාරුණිකව පහලින් comment එකක් දාලා ඒ දේත් අපිත් එක්ක බෙදාගන්නවනම් සතුටුයි...


ඊලඟට මං කතාකරන්නෙ මේ චිත්‍රපටිය නරඹපු ගොඩක් දෙනෙක් පැටලුනු ගැටලුවක් ගැන කතාකරන්නයි. හැබැයි මෙතනින් එහාට කතාවෙ වෙන ප්‍රධානම සිදුවීම් ගැන කතාකරන්න වෙන නිසා මේ වෙනකන් චිත්‍රපටිය බලපු නැති අය කරුණාකරලා මෙතනින් එහාට කියවන්න එපා..


🔴🔴🔴🔴🔴🔴Spoiler Alert 🔴🔴🔴🔴🔴🔴


ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේකේ අවසානයට මොකක්ද උනේ කියන එක.. ඒක අවුලක් වෙන්නෙ ඒ ගැන හරිහමන් explanation එකක් ෆිල්ම් එකේ පිලිවෙලට දාලා නෑ. නමුත් මේක හරියටම බැලුවනම් තේරුම් ගන්න බැරිකමක් නෑ.. අපි බලමු එහෙනම් මොකක්ද ඒ අවසානයට උනේ කියලා...මුලින්ම අපිට චිත්‍රපටියේ උන සිදුවීම් එක්ක අදහසක් ගන්න පුලුවන් නෙ මේක යම්කිසි සංවිධානාත්මක කල්ලියක් විසින් සිදුකරන බිලි පූජාවක් වගේ දෙයක් කියලා. ඉතින් ඒක උන විදිය සහ ඒකට හේතුපාදක උන කරුනු මං එකින් එක විස්තර කරන්නම්.. අපිට මුලින්ම දකින්න ලැබෙන්නෙ Annie ගේ අම්මා වෙන Ellen ගේ අවමගුල් උත්සවය. එතනදි සහ ඉන්පසු සිදුවීම් වලදි අපිට තේරුම් ගන්න පුලුවන් Annie සහ Ellen අතර ඒතරම් හොඳ සම්බන්ධතාවයක් තිබිලා නැති බව. ඉන්පස්සෙ ඒකට හේතුවෙන කාරනාවක් Annie ම විස්තර කරනවා.. ඒ තමන්ගේ සහෝදරයගේ හදිසි මරණයටත් හේතුව විදියට තමන් විශ්වාස කරන්නෙ තමන්ගේ අම්මගේ අද්භූත ක්‍රියාකලාපය කියලා. ඔහු විසින් Ellen තමන්ගේ ඔලුවට මිනිස්සු ඇතුල් කරන්න උත්සාහා කලා කියලා සියදිවි නසාගන්නට පෙර ලියා තිබූ ලිපියේ සඳහන් කරලා තිබුන බව Annie කියනවා. ඉතින් ඒ අමිහිරි අත්දැකීම නිසාම තමන්ගේ පලවෙනි දරුවා උන Peter ව Ellen ගෙන් හැම වෙලාවෙම ඈත් කරලා තියන්න Annie කටයුතු කරනවා.. මෙන්න මේක මං පස්සෙ විස්තර කරන ක්‍රියාවලියට සම්බන්ධ ප්‍රධාන සිදුවීමක්. ඉන්පස්සෙ Annie කියනවා දෙවෙනි දරුවා උන Charlie ඉපදුන අවස්ථාවෙ ඉදන්ම Ellen එයා ගැන ගොඩක් උනන්දු උනා කියලා.. එයා තමන්ගේ මිනිබිරී උන Charlie ට තමන්ගෙ මවුකිරි දෙන්න පවා ඉදිරිපත් උන බව Annie කියනවා. අසාමාන්‍යයි නේද.. ඔව්. ඊලඟට Charlie ගේ අවාසනාවන්ත මරණයත් (අවාසනාවන්ත කියන්නත් බෑ හැබැයි) එක්කම Annie ට අහම්බෙන් හම්බෙන මිතුරිය Joanie විසින් Charlie ගේ ආත්මය සමහ කතාකරන්න, ඒ ආත්මය මේ ලෝකයට ගෙන්නගන්න පුලුවන් ගුරුකමක් කියලා දෙනවා. ඉන්පසුව Charlie ව ගෙන්වාගැනීම සිදුකිරීමෙන් පසුව තමයි Peter ට අසාමාන්‍ය දර්ශන පේන්න පටන්ගන්නෙ.. ඒ අතරෙ Annie විසින් හොයාගන්නවා Joannie කියන්නෙ තමන්ට අහම්බෙන් හමු උන කෙනෙක් නම් නෙමෙයි තමන්ගෙ අම්මා Ellen ගේ සමීපම මිතුරියක් කියලා. ඉන්පසුව තමයි මෙතන මුල ඉදන්ම සිදු උන සිදුවීම් සියල්ලම එකට ගැටගහලා තියෙන ලණු පට අපිට දැකගන්න ලැබෙන්නෙ.. ඒ තමයි Annie ට කියවන්න ලැබෙන King Paimon ගැන සටහන. King Paimon ගැනත් මෙතනම කෙටියෙන් සඳහන් කලොත් මෙයා ගැන මුලින්ම සටහන් වෙලා තියෙන්නෙ Lesser Key of Solomon නම් පැරණි ග්‍රන්ථයේයි. ඒකට අනුව King Paimon ව "a great King”, “one of the chief demons” සහ  “one of the most significant Angelick Rulers.” ලෙසත් හැඳින්වෙනවා. ඉතින් අපායේ අධිපති විදියට සැලකෙන Lucifer ට සමීපතමයෙක් වෙන Paimon සැලකෙන්නෙ යක්ශ සේනාවන් දෙසීයකට ( ඇතැම් තැන්වල සීයක් කියලත් කියවෙනවා ) අධිපති උන යක්ෂ සේනාධිපතියෙක් විදියටයි. ඉතින් මෙයාව අදහන බොහෝ පිරිස් වර්තමානයෙත් සිටිනවා. (ඒක අහලා බයවෙන්න එහෙම එපා ඈ ) ඔවුන්ගේ විශ්වාසයන්ට අනුව අසීමිත බලතල තියෙන King Paimon ට වන්දනාමාන කරන්නන්ට සහ ඔහුට මනුශ්‍ය ලෝකයේ සැරිසැරීමට සුදුසු ශරීරයක් ලබාදෙන්නන්ට ඔහු විසින් විශාල වරප්‍රසාද ලබාදෙනවා.. නමුත් මේකෙදි එක්තරා ප්‍රධාන කාරණයක් ගැන සැලකිලිමත් වෙන්න ඕන.. ඒ තමයි King Paimon ට ලබාදෙන ශරීරය පිරිමි කෙනෙක්ගේ එකක් වෙන්න ඕන.. එහෙම නැතුව ගැහැණු ශරීරයක් දුන්නත් Paimon ට ඒ ශරීරයට ආරූඪ වෙන්න පුලුවන් නමුත් ඒකෙන් ඔහුව තරමක් අසතුටට සහ කෝපයට පත්වෙනවලු. ඒ නිසා මේ පූජාකර්මයේ නියම ප්‍රථිපල ලබාගන්න නම් ලබාදෙන ශරීරය පිරිමියෙකුගේ එකක් වෙන්නම ඕන..


හරි එහෙනම් දැන් අපි කතාවෙ අවුල් ටික එකින් එක ලිහාගෙන යමු.. අපිට කතාවෙ දකින්න ලැබෙන Ellen, Joannie සහ අවසානයට දකින්න ලැබෙන පිරිස Paimon ව අදහන cult එකක්. එහෙමත් නැත්නම් ආගමික කල්ලියක්. ඔවුන්ගේ නායිකාව වෙන Ellen තමයි Queen Leigh විදියට මේක මෙහෙයවන්නෙ සහ පූජාකර්මය අනුව King Paimon ගේ රැජින නැත්නම් බිරිඳ විදියට සංකේතවත් කරන්නෙත් ඇයමයි.. ඔවුන් සියලු දෙනා සතුවම Paimon ගේ සලකුණ කර මාලයක් විදියට තියෙනවා. ඒක අපිට මුලදිම Ellen ගේ මිනියට පලඳලා තිබෙන ආකාරය දැකබලාගන්න පුලුවන්.. ඊලඟට සිදුවීම් අනුපිලිවෙලට කතාකලොත් Annie සහ ඇගේ සහෝදරයා කුඩා කාලයෙදිම Ellen ට අවශ්‍ය වෙනවා තමන්ගේ ස්වාමියා වෙන Paimon ට ඇගේ පුත්‍රයා ව ලබාදෙන්න. ඉතින් මේ සඳහා වැඩකටයුතු සකස් කරගෙන යද්දි ඒ ගැන තේරුම් යන Annie ගේ සහෝදරයා සියදිවි නසාගන්නවා. Ellen විසින් King Paimon ව තමන්ගේ ශරීරයට ඇතුලත් කරන්න ගනිපු උත්සාහයන් ගැන තමයි ඔහුගේ අවසන් ලිපියෙන් ඔලුව ඇතුලට මිනිස්සු දාන්න හදනවා කියලා ඔහුට තේරෙන විදියට ලියලා තියෙන්නෙ. ඔන්න මේකෙන් Ellen ගේ සැලසුම් අවුල් යනවා. ඉන්පසුව Annie ට ලැබෙන පලමු පිරිමි දරුවා වෙන Peter ගැන උනන්දුවෙන Ellen ට ඔහුට අතක්වත් තියන්න Annie ඉඩක් ලබාදෙන්නෙ නෑ. ඒ මං කලින් කිව්ව වගේම තමන්ගෙ සහෝදරයා ගැන තියෙන අමිහිරි මතක නිසා. නමුත් දෙවෙනි දරුවා ඉපදෙනකොටම Ellen කොහොමහරි ඒ ලමයව Annie ගෙන් තමන් ලඟට ගන්න සමත්වෙනවා. Ellen මුල ඉදන්ම දෙවෙනි දරුවා පිරිමි දරුවෙක් වෙයි කියලා බලාපොරොත්තුවෙන් හිටියත් අවසානයට ලැබෙන්නෙ ගැහැණු දරුවෙක්. අපිට Ellen කොච්චර ඒ ගැන බලාපොරොත්තු තියාගෙන හිටියද කියලා තේරුම් ගන්න පුලුවන් Annie විසින් Ellen තමන්ගෙ පවුලෙ අය වෙනුවෙන් මහපු පාපිසි ටික එලියට ගන්න අවස්ථාව බැලුවනම්. එතනදි Annie එලියට ගන්නවා Charles කියලා නමක් තියෙන පාපිස්සක්.. මේ පවුලේ කොහෙන්ද Charles කෙනෙක් නේද? ඔව් ඒ Charlie වෙනුවෙන් මහපු එක තමයි Charles කියලා සඳහන් කරලා තියෙන්නෙ. ඉතින් Charlie ඉපදුනාට පස්සෙ පවා දිගින් දිගටම Ellen විසින් Charlie ට අසාමාන්‍ය විදියට ලංවෙනවා.. මේකෙන් අනුමාන කරන්න පුලුවන් එකම් දෙයයි.. ඒ තමයි King Paimon ගේ පලවෙනි host එක වෙන්නෙ Charlie. එයා ඉපදෙනකොටත් Paimon එයාගෙ ශරීරයට අරක්ගෙන ඉවරයි. නමුත් මෙතන පොඩි අවුලක් උනා.. ඒ තමයි Charlie ගැහැණු දරුවෙක් වීම. ඉතින් හැකි ඉක්මනින් King Paimon ට පිරිමි ශරීරයක් ලබාදිය යුතුමයි. ඒ වෙනුවෙන් සැලසුම් කරමින් ඉන්න අතරේ Ellen මියයනවා. නමුත් ඔවුන් සකස්කල සැලසුම ක්‍රියාවට නංවන්නෙ ඉන් පසුවයි. ඒ අනුව තම සහෝදරයගේ නොසැලකිලිමත්කම හේතුවෙන් Charlie මියයනවා.. එහෙමද හිතුවෙ.. ඇත්තටම ඒක එහෙම නෙමෙයි වෙන්නෙ.. ඒ හැමදේම මුල ඉදන්ම සැලසුම් කල දේවල්. අපිට Peter සහ Charlie දෙන්නා පාටියට පිටත් වෙන අවස්ථාවෙදිත් Charlie ගේ මරනයට හේතුවෙන කණුව දකින්න ලැබෙනවා.. ඒකේ මැද තියෙනවා නේද සලකුණක්.. අන්න ඒ තමයි අපි කලිනුත් දැක්ක King Paimon ගේ සලකුණ.. ඒ අනුව පස්සෙ මේ පිරිස ඒ ස්ථානයටම මැරුණු එලුවෙක් ගේ ශරීරයක් ගෙනත් දාලා අනතුර වෙන්න ඉඩකඩ හදලා දෙනවා.. මෙතනදි විශේෂයෙන්ම කියන්න ඕන Paimon සතුව අනාගතය දැකගන්න පුලුවන් බලයක් තියෙනවා. අන්න ඒ හැකියාව මෙතනදි මේ අය යොදාගත්තා කියන්නත් පුලුවන්. කොහොම නමුත් මේ විදියට Charlie ගේ මරණයත් එක්ක ඇගේ සිරුරෙන් ඇගේ ආත්මය සමහ සම්බන්ධ වෙලා තිබුණ Paimon ගේ ආත්මය එලියට ගන්න මේ කල්ලිය සමත්වෙනවා. ඉන්පසුව තමයි ඊලඟ ඉලක්කය දිහාවට හැරෙන්නෙ. ඒ තමයි Peter. නමුත් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුලුවන් ඇයි මේකට Peter වම තෝරගන්නෙ. පවුලේ අනිත් පිරිමියා උන Peter ගේ තාත්තා Steve ව තෝරගන්න තිබුනා නේද කියලා. නමුත් ඒකට හේතුවක් තියෙනවා. ඒ තමයි Paimon ට ලබාදෙන සියලුම ශරීරයන් Queen වෙන Ellen ගේ ලේ ඥාතීන් වියයුතු විම. ඉතින් පවුලට පිටින් සම්බන්ධ උන Steve ව මේකට ගැලපෙන්නෙ නෑ. ඉතින් Paimon ව Peter සමග සම්බන්ධ කරන්න ආයෙම Charlie ගේ ආත්මය එක්ක මේ ලෝකෙට ගෙන්නගන්න ඕන. ඒක කරන්න පුලුවන් Charlie ගේ අම්ම උන Annie ට විතරයි. ඔන්න මෙතනදි තමයි Joannie අහම්බෙන් වගේ මේ කතාවට සම්බන්ධ වෙන්නෙ. ඒ අනුව එයාගෙ පෙලඹවීමෙන් Annie විසින් ගුරුකම කරලා Charlie ගේ ආත්මය මේ ලෝකයට ගෙන්වගන්නවා.. ඉන්පසුව තමයි මේ පවුලට වෙන විනාශය ආරම්භ වෙන්නෙ. ඒ අනුව පවුලෙ බැඳීම් වලින් වෙන්වෙලා ඉදපු Peter ව තවත් අසරණ කරලා මනසින් දුර්වල කරන්න Paimon සමත්වෙනවා වගේම අවසානයෙදි Peter හැරුණුවිට පවුලේ අනිත් සියලුදෙනාම මරාදමනවා. ඉන්පසුව නිවසේ උඩ තට්ටුවෙන් පහලට වැටෙන Peter ට අන්න ඒ අවස්ථවෙදි Charlie ගේ ආත්මය ආරූඪ වෙනවා. ඒත් එක්කම  King Paimon ටත් තමන්ට ගැලපෙන ශරීරය ලැබෙනවා. ඒ අනුව අවසානයේදි මේ ආගමික කල්ලියේ පූජාකර්මය සාර්ථක වෙනවා. පවුලක විනාශය එක්ක ඔවුන්ට සෞභාග්‍ය උදාවෙනවා.. හරියටම Annie ට Ellen ගෙ පරණ බඩු අතරෙ තිබිලා ලැබුන ලියුමේ සඳහන් කරලා තිබුනා වගේම.. 


බලපු අය අන්තිමට Peter ට charlie කියලා කතාකරන්නෙ මොකද කියලා පුදුම උනානම් ඒ වෙලාවෙ උනේ මේකයි. ඒ මොහොත වෙද්දි Peter ගේ ශරීරයේ ඔහුගේ ආත්මය තිබුනේ නෑ. තිබුනේ Paimon සමග කලින් ඉදන්ම සම්බන්ධවෙලා තිබුන Charlie ගේ ආත්මය.. අන්න ඒ නිසයි Peter ට Charlie කියලා ඒ වෙලාවෙදි කතාකලේ.. එහෙනම් මේ වෙනකන් කතාව නොතේරුන කෙනෙක්ට හැමදේම තේරෙන්න ඇති කියලා විශ්වාස කරනවා. සටහන ටිකක් දිග වැඩි උනානම් සමාවෙන්න. මම King Paimon ගේ පෙනුම සහ ඔහුගේ සලකුණ පහලින් comment විදියට දාන්නම්. එහෙනම් ආයෙම මේ වගේ සටහනක් අරගෙන එනතෙක් සියලු දෙනාටම ජයවේවා !!


හදිස්සිකාරයොන්ට බාගන්න :- https://usersdrive.com/0954nmgrahiq.html


- ප්‍රගීත් ෂාන් - 

Post a Comment

0 Comments