Transcendental Film සහ A Hidden Life චිත්‍රපට විචාරය





Colombo Film School විසින් සුගත් මහදිවුල්වැව සර් මූලික වෙලා සිනමා අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර සර් සිදු කරපු Transcendental Cinema  හා සම්බන්ධ master class එක මේ ලියැවිල්ල සඳහා මූලික පෙලඹවීමක් සිදුකල බව නම් මුලින්ම සඳහන් කල යුතුම වෙනවා.


Transcendental Film


මෙම වචනය සාමාන්‍යයෙන් නිතර අහලා හුරුපුරුදු වචනයක් නොවන බව නම් සත්‍යයක්. Transcendental cinema ව ලෙස අප හඳුන්වන්නෙම භෞතික ලෝකය අතික්‍රමණය කර අපගේ විඥානයට ආමන්ත්‍රණය කරමින් දෘශ්‍ය භාෂාව හසුරවන අපුර්වතම සිනමා ආකෘතියකටයි. කාලාන්තරයක් තිස්සේ ගතානුගතික ස්වභාවයන්ට මුහුණ දෙමින් ආ සිනමාව එක් එක් යුගයන්වලදී විවිධ ආකෘතින්, විවිධ න්‍යායන්, විවිධ සිනමා ෂානරයක් බිහි කරමින් ඒවාට යොමු වෙමින් පැමිණියා. ඒ තුලින් හුදෙක් කතාවක් පමණක් ප්‍රේක්ෂකයාට ලබා දීම හෝ හුදෙක් රසවින්දනයක් ලබා දීම වෙනුවට අනුභූතී - උත්තර ස්වාභාවයක් (transcendental) චිත්‍රපටය තුලින් වියමන් කිරීමට ඇතැම් සිනමාකරුවන් පෙළඹුණි. 


Paul Schrader අනුභූතී උත්තර සිනමා ආකෘතිය පිළිබඳව මෙසේ දක්වයි.


'A common film style used by various filmmakers in divergent cultures to express the transcendent'


ඔහු සිය Transcendental Style in Film ග්‍රන්ථයේ් සාකච්ඡා කරන පරිදි විවිධ සිනමාකරුවන් විවිධ සංස්කෘතීන් තුල අත්‍යාවශ්‍ය උසස් අදහස් ප්‍රකාශ කිරීම උදෙසා මෙම ශෛලිය භාවිත කරන ලදී.


අපි දන්නා පරිදි සිනමාව තුලට සෞන්දර්යාත්මක ගුණාංගයක්, යම් න්‍යායක් හෝ ආවේණික හැඩහුරුවක් ගොඩනැංවීමෙහිලා ඊට පිටුපසින් විවිධාකාර සමාජ පෙරලිකාර සිද්ධීන් හෝ සමාජ බලපෑම්වල ශේෂයන් පසුබිම් වේ. ඒ අනුව අනුභූතී - උත්තර සිනමා ශෛලියට පිටුපසින් ද ඒ ඒ සිනමාකරුවන් හට එම ශෛලිය යෙදවීමෙහිලා බලපෑ හේතු සාධක පවතී. උදාහරණයක් ලෙස අධ්‍යාත්මික භාව නිරූපණයක් උදෙසා මූලික වූ අනුභූතී - උත්තර සිනමා ශෛලියේ මූලිකයෙක් වන එමෙන්ම ජපානයේ මුල් ඇදුණු ආත්මයක් සහිත සිනමාකරුවෙකු වන යසුරිජෝ ඕෂු අනුභූතී -උත්තර සිනමාව තුල මගහැර යා නොහැකි සිනමාකරුවෙකි. හෙතෙම ජපන් ආර්ථිකය කේන්ද්‍රය කරගත් පහල මධ්‍යම පාන්තිකයන්ගේ ගැටලුවල මානුෂීය මුහුණුවර ස්වකීය නිර්මාණයන් සඳහා වස්තුබීජ කරගන්නා ලදී.


ඇත්තෙන්ම අනුභූතී-උත්තර සිනමා ආකෘතිය ආගමික කරුණු මූලික කරගත් සිනමාවකට ඔබ්බෙන් මිනිස් පැවැත්මේ හේතු සාධකයන් හරහා මිනිසා උපරිමාන්තික තත්ත්වයට පත්කිරීමට උත්සාහ කරයි . සිනමාව දර්ශනය සමඟ අත්වැල් බැදගන්නවා නම් එය සිදු වනුයේ අනුභූතී - උත්තර සිනමාව තුල දී බව යන්න සඳහන් කිරීමද නිරවද්‍යයි. ඒ අනුව යම් ආකාරයකට මෙකී සිනමා ශෛලිය දර්ශනයේ කාර්‍යයභාරය සිදු කරන ලද බැව් පෙනී යයි.


මෙකී ආකෘතිය මඟින් ධනේශ්වර අර්ථ ක්‍රමයක් තුල උපන් සිනමාව තුල පැවති සිනමා රිද්මය අභියෝගයට ලක් කරයි.විශේෂයෙන්ම  සිනමාව නව උපමාත්මක මෙන්ම නව සංකල්පීය තත්ත්වයකට ද මෙයින් ඇතුළු වන බව නොරහසකි.


*දීර්ඝ රූප ඛණ්ඩ (long take) බහුලව භාවිතය

*ආවේණික රිද්මයක් හා සංස්කරණ ක්‍රමවේදයක් නිරන්තරව භාවිත කිරීම

*180°රේඛාව පිළිබඳ න්‍යාය බිඳ දමන අවස්ථා තිබීම

*ආත්ම භාෂණ අන්තර්ගත වීම

*රූප රාමු අඛණ්ඩත්වය (continuity ) ඛණ්ඩනය  කිරීම


ආදී විශේෂතා අනුභූතී - උත්තර සිනමා ආකෘතිය තුල දක්නට හැකිවෙයි.තවද  කතාන්දරයේ ආඛ්‍යානය බිඳීමට එහායින් සිනමාත්මක ආඛ්‍යානය (සිනමාවට ආවේණික කතා කලාව) බිඳීම මෙවැනි සිනමා පථිතයන් තුල දක්නට ලැබෙයි. සාමන්‍යයෙන් බොහෝ සිනමාකරුවන් සෑම තත්පරයක්ම අපගේ  අවධානය සිනමා කෘතිය තුල තබා ගැනීමට උත්සාහ ගත්තද මෙකී ශෛලිය ඊට වඩා වෙනස්ය. ඒ වෙනුවට දීර්ඝ රූප ඛණ්ඩ භාවිතය තුලින් ප්‍රේක්ෂක දුරස්ථීකරණය ඇති කර මනස විවර කරයි. දීර්ඝ රූප රාමුව දෙස බලා සිටීමේ වෙහෙසකර බව ශිල්පීය ක්‍රමයක් ලෙස ‍යොදා ගනී.


ජපානයේ යසුරිජෝ ඕසු, ප්‍රංශයේ රොබර්ට් බ්‍රෙසෝන්, ඩෙන්මාර්කයේ කාල් ඩේරයර් සිනමාකරුවන්ගේ නිර්මාණ තුල අනුභූතී - උත්තර ශෛලිය ප්‍රමුඛව නිරූපණය වන අතර ආන්ද්‍රේ තර්කොව්ස්කි, අබ්බාස් කිරොස්තාමි, ඩේවිඩ් ලීන්ච් වැනි සිනමාකරුවන්ගේ නිර්මාණ තුලින්ද එකී ලක්ෂණයන් පිළිඹිබු වීම අනුභූතී - උත්තර සිනමා ශෛලියේ ප්‍රගමනයට හේතු වේ. මේ අතුරින් ඇමරිකානු සිනමා අධ්‍යක්ෂකවරයෙක් වන ටෙරන්ස් මලික් ගේ 'A hidden life' චිත්‍රපටය ද වඩාත් ගැඹුරු හා සැබවින්ම අධ්‍යාත්මික අත්දැකීමක් ප්‍රේක්ෂකයා ලබා දෙන්නකි.


🎬A Hidden Life

 "ප්‍රතිරෝධක සටන්කරුවෙකුගේ සැඟවුණු ආත්ම භාෂණය"

Dir: Terrence Malick


                                                

A hidden life චිත්‍රපටය දෙවන ලෝක යුද්ධ සමයේ දී ඒකාධිපති ඇඩොල්ෆ් හිට්ලර්ට පක්ෂපාතී ලෙස දිවුරුමකට අත්සන් කිරීම මෙන්ම අයුක්ති සහගත යුද්ධයක යෙදීම පිළිබඳව ඔස්ට්‍රියානු ගොවියෙකුගේ හෘද සාක්ෂිය පිළිබඳව පැය තුනකට ආසන්න කාලයක් නිරූපණය කරන චිත්‍රපටයකි. ෆ්‍රාන්ස් ජෙගර්ස්ටැටර්ගේ සත්‍ය කතාව පදනම් කර ගෙන ටෙරන්ස් මලික් මෙය නිර්මාණය කරයි. ප්‍රධාන චරිතය වන ෆ්‍රාන්ස් යනු ඔස්ට්‍රියාවේ ගම්මානයක ජීවත් වන ගොවියෙකි. සිය බිරිය සමඟ ඔහු ගත කරන්නේ ඉතාමත් ප්‍රීතිමත් සරල ජීවිතයකි. භක්තිමත් කිතුනුවකු වන ඔහු යුද්ධය ගැන උනන්දුවක් නොදක්වයි. ඔහු හට හිට්ලර්ට පක්ෂපාතී වීමට හා යුද්ධය සඳහා නාසි හමුදාව වෙත බැඳීමට බල කරත් ෆ්‍රාන්ස් රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ හෘද සාක්ෂියේ ක්‍රියාව හා එහි විශ්වාසය තුලින් යුද්ධය නැවැත්වීමට කිසිදු බලපෑමක් නොවෙන බවත් ඔහුගේ පවුල හා ඔහුගේ ජීවිතය ඔහුගේ තීරණය හේතුවෙන් අවධානමට ලක් කරන බවත් දැන දැනම ඔහුගේ ඒකායන කැපවීම පවත්වා ගැනීම අදහාගත නොහැකි තරම්ය. ඔහු නපුරට එරෙහි මිනිසෙකුගේ ස්ථිර ස්ථාවරයෙහි ගමන සිනමා සිත්තම පුරාවටම නිරූපණය කරනු ප්‍රේක්ෂක අපගේ නෙතඟට ද කඳුලක් එක් කරමිනි.


   ෆ්‍රාන්ස් 

මනුස්සයෙක්ට අයිතිය තියෙනවද කැමැත්තෙන්ම මැරෙන්න.

සත්‍යය වෙනුවෙන්ද?

ඒකෙන් දෙවියන්ව සතුටු කරන්න පුළුවන් ද?
දෙවියන්ට අවශ්‍ය අපි සාමයෙන් ඉන්න.සතුට ලබන්න.අපිටම දුක්වේදනා දෙන්න නෙවෙයි.


ඔහුගේ ආශාව වන්නේ සිය පවුල සමගින් සතුටින්, නිදහස්ව ගත කිරීමයි.ඒ නිසාම අවසානයේ දී ඇඩොල්ෆ් හිට්ලර්ට පක්ෂපාතී බවට පොරොන්දු දීම ප්‍රතික්ෂේප කරන බැවින් ෆ්‍රාන්ස් සිරගත කර කරයි.නමුත් ඔහුගේ අවංක කැමැත්ත පාවා දීමට වඩා ඔහුව සිරගත කිරීම හොඳ බව ඔහු නිරතුරුව සිතයි.


  ෆ්‍රාන්ස්

මම මගේ හදවතින්ම වචන කීපයක් ලියන්නම්. මම ඒවා ලියන්නේ ගැටගහපු අත්වලින් උනත්,ඒක හොඳයි මගේ කැමැත්ත හිර කරනවට වඩා.


අවසානයේදී ඔහු වෙනුවෙන් රජයේ තින්දුව දෙන අවස්ථාවේදී පවා ඔහු සිය ඒකායන විශ්වාසය තුලම නොපසුබටව රැදී සිටින්නේ 

අයුක්ති සහගත රජයකට අවනත වීම හා ඒවාට කීකරු වීමේ ආචාර ධර්ම පිළිබඳ ප්‍රශ්නය මතු කරමිනි. නාසි හමුදා ජනරාල්වරයා සිය අවසන් තීරණය දීමට මත්තෙන් ෆ්‍රාන්ස් ගෙන් මෙසේ අසයි.

  

                 නාසි හමුදා ජනරාල්වරයා 

ඔයා හිතනවද ඔයා කරන දෙයින් මේ යුද්දෙ ගමන්මග වෙනස් වෙයි කියලා? මේ උසාවියෙන් පිටත අය ඔයාට ඇහුම්කන් දෙයි කියලා?කවුරුවත් වෙනස් වෙන එකක් නෑ. ලෝකෙ කලින් වගේම තියේවි.


       ෆ්‍රාන්ස්

මං කියන්න යන්නෙ නෑ "මිනිහා දුෂ්ටයි. මම තමයි හරි" කියලා. මං හැමදේම දන්නේ නෑ. මනුස්සයෙක් වැරදි කරන්න පුළුවන්. හැබැයි එයාට ඒකෙන් ගැළවෙන්න බෑ. තමන්ගේ ජීවිතේ නිරවුල් කරන්න.....ඒත් මගේ හිතට දැනෙනවා මම වැරදියි කියලා හිතන දෙයක් මට කරන්න බෑ කියන එක.


              නාසි හමුදා ජනරාල්වරයා 

ඔයාට මේක කරන්න අයිතියක් තියෙනවද?


      ෆ්‍රාන්ස්

මට එහෙම නොකර ඉන්න අයිතියක් තියෙනවද?


උසාවිය ලබා දෙන අවසන් තීන්දුව වනුයේ ෆ්‍රාන්ස්ව එල්ලා මැරීමට නියම කිරීමයි.නමුත් ඔහු එයින් මදක්වත් කම්පා නොවෙයි.ෆ්‍රාන්ස් සර්වබලධාරි දෙවියන්ගෙන් අයැද සිටියේ


'මට ශක්තිය දෙන්න.ඔබව අනුගමනය කරන්න.ආත්මය, මට මඟ පෙන්වන්න.මට පෙන්වන්න'


ලෙසටයි.


එසේ ඛේදවාචකයක් ලෙස අවසන් වන්නේ ප්‍රතිපත්තිගරුක එක් මිනිසෙකුගේ සත්‍ය කතාවයි.


නමුත් වසර 54 කට පසුව එනම් 1997 වර්ෂයේ දී බර්ලිනයේ දිසා අධිකරණය මගින් ෆ්‍රාන්ස් ජෙගර්ස්ටැටර්ගේ තීන්දුව අවලංගු කරන ලද අතර 2007 වර්ෂයේදී ආශිර්වාද ලත් ෆ්‍රාන්ස් ජෙගර්ස්ටැටර් ලෙස ලින්ස් හි ශාන්ත මරියා දෙව් මැදුරේ දී ඔහුව ගෞරවයෙන් නම් කරන ලදී.


The tree of life(2011), The thin red line(1998) වැනි සිනමාපට තුලින් දෘශ්‍ය කාව්‍යයක් බඳු වූ සිය සිනමා ශෛලිය නිරූපණය කල ටෙරන්ස් මලික් සිය අද්විතීය ශෛලිය A hidden life නම් චිත්‍රපටයෙන් නිවැරදිව සනිටුහන් කරන බව පෙනෙයි. එක්තරා අතකින් ජර්මානු නාසීන් සහ හිට්ලර්ගේ බලපෑම් වටා ගෙතෙන මෙතරම් සන්සුන්, විචක්ෂණශීලී කාව්‍යමය සිනමා ගෙත්තමක් මා ඇත්තෙන්ම දැක නැත. අපගේ තෝරාගැනීම්වල ස්වකීය නිදහසේ අනන්‍යතාවයක් සැබවින්ම පවතිනවාද යන්න මෙහිදී ප්‍රශ්න කරන අතරම සංවේදීතාවයෙන් ඔබ්බට ප්‍රේක්ෂකයාගේ මනස විවර කරන චිත්‍රපටයක් බව පැවසිය යුතුමයි. අපූරු දෘශ්‍ය කාව්‍යයක් ලෙස මෙම චිත්‍රපටය නිර්ලෝභීව හඳුන්වා දිය හැකියි.


මෙහි තිර පිටපතම කවියක් වැනියි.  කැමරාකරණයම හා සංගීතය සමස්ත චිත්‍රපටයේම හැඟීම් ද්වනිත කරයි.

විශේෂයෙන්ම මලික්ගේ සෑම චිත්‍රපටයක්ම මෙන්ම මෙහිදීත් සෑම දර්ශන කෝණයකින්ම හැඟීමක ගැඹුර ස්පර්ශ කරමින් දර්ශනය මෙනෙහි කිරීමට සිනමා ප්‍රේක්ෂකයාව උත්ප්‍රේරණය කරවයි. ඒකල භාෂණ ස්වරූපය යොදා ගනිමින් සිදුවෙන ගොවියාගේ ආත්ම කථනය ප්‍රේක්ෂක අපගේ මනස අවදි කරයි.


සිතන්න.

ඔබ හොදින් සිතා බලන්න. 

යුද්ධය විසින් අහිමි කලේ විශාල ගොඩනැගිලි පිටින් නගර පමණක්ම නොවෙයි. ලෙන්ගතු බිරිඳකට ලෙන්ගතු සැමියෙක්, සෙනෙහෙවන්ත මවකට පුතෙක්, දූදරුවන්ට ආදරණීය පියෙක් විය හැකියි. රාජ්‍යයක් වෙනුවෙන් යුධ භූමිය තුල සටන් කරන රණ සෙබලා පමණක් නොව සටන් කිරීම,මනුෂ්‍ය ඝාතනය ප්‍රතික්ෂේප කරමින් ස්වකීය නිදහස් අවකාශය තුල සැරිසැරීමට කැමති පුද්ගලයාත් දේශප්‍රේමියෙකු නොවන්නේද?


සිනමා තක්සලාව වෙනුවෙන් 
නිශී කාංචනා

Post a Comment

0 Comments