Miniatures Effect

 



Miniature එකක් කියන්නෙ මොකක්ද? ඔව් Miniature එකක් කියන්නෙ කුඩාවට තනපු පසුතල නිර්මාණයන්ට. ඇයි අපි Miniature පාවිච්චි කරන්නෙ.. අපිට ඒකෙන් තියෙන අමතර වාසි මොනවද.. ඊලඟට ඒවා පාවිච්චි කරද්දි සැලකිලිමත් වෙන්න ඕන කරුණු මොනවද කියලා කතාකරන්නයි අද මේ ලිපිය අරගෙන එන්නෙ. ඉතින් මේ වෙද්දි ක්‍රමක්‍රමයෙන් හොලිවුඩයෙන් මේ Miniature යොදෑගැනීම අඩුවීමක් දකින්න ලැබුනත් ( නවතම CGI තාක්ෂණයන් නිසයි මෙහෙම වෙලා තියෙන්නෙ ) මේවා දැවැන්ත සිනමා නිර්මාණයන්වලට අත්‍යාවශ්‍ය අංගයන් වෙලා තිබුනා. මේ Miniature වගේ දේවල් ඇත්තටම වටින්නෙ ලංකාවෙ සිනමාව වගේ තාම නවීන තාක්ෂණයන්ට නුහුරු නුපුරුදු රටවල් වලටයි.. මං හැමදේම ගැන පිලිවෙලට කියන්නම්.. එහෙනම් අපි මුලින්ම බලමු මොකක්ද මේ Miniature එකක් කියන්නෙ කියලා..


සරලවම කිව්වොත් miniature එකක් කියන්නෙ සාමාන්‍ය අපි දකින ප්‍රමාණයට වඩා කුඩාවට සකසන ලද පසුතලයක්. ඒ කියන්නෙ සත්‍ය ලෝකයේ ඉතාම විශාල ඉදිකිරීම් වෙන සම්පූර්ණ නගර, බලකොටු, ප්‍රාකාර වගේ දේවල් ඒවගෙ තියෙන පුංචිම detail එක පවා ඇතුලත්වෙන විදියට පරිමාණයෙන් කුඩා කර සකස් කිරීමක් තමයි Miniature සැකසීමෙදි වෙන්නෙ. මේ වගේ එකක් ඇත්තටම හදන්නෙ මොන උවමනාවක් මතද කියලා ඔයාලට ඊලඟට ප්‍රශ්නයක් ඒවි. අපි ඒක උදාහරණයකින්ම බලමු.. අපි හිතමු අපිට පුරාණ රාජධානියක් ගැන චිත්‍රපටියක් නිර්මාණය කරන්න ඕන කියලා.. අන්න ඒ වෙලාවට අපි ඒ චිත්‍රපටියේ මේ රාජධානියේ අග නගරය, බලකොටු වගේ දේවල් පෙන්නන්න තියෙනවා කියලා හිතමු ( මං මේ කියන්නෙ අපි දුරින් ඒ බලකොටු දිහා බැලුවම පේන විදිය ගැන නැතුව ඒක ඇතුලේ ඉන්නකොට පේන විදිය ගැන නෙමෙයි.. ඒවට තමයි චිත්‍රාගාර වල පසුතල තියෙන්නෙ).. මෙන්න මේ වෙලාවට අපිට option තුනක් තියෙනවා.. පලවෙනි එක තමයි මේ බලකොටු වගේ දේවල් ඇත්තටම නිර්මාණය කිරීම.. ඒක සෑහෙන වියදම් අධික සහ කාලය නාස්තිවෙන වැඩක්නේ.. මොකද අපි ෆිල්ම් එක රූගත කරාට පස්සෙ අර බලකොටුවෙන් ඇති වැඩක් නෑනෙ. මොකද කට්ටිය ඒකේ පදිංචිවෙලා ඉන්නද.. දෙවෙනි Option එක තමයි CGI මගින් ඒ බලකොටු සත්‍ය ආකාරයෙන්ම නිර්මාණය කරලා සිනමාපටයට ඇතුලත් කිරීම. ඒකත් ටිකක් රිස්ක් එකක් තියෙන සහ වියදම් අධික වැඩක්. මොකද අන්තිමට මේ පසුතලේ කාටුන් එකක් වගේ උනොත් අර ෆිල්ම් එකම නිකන් ජෝක් එකක් වගේ වෙනවා. තුන්වෙනි option එක තමයි මං මේ කතාකරන miniature පාවිච්චි කිරීම. ඒකෙන් පුලුවන් අපිට පෙන්නන්න ඕන නගරය හෝ බලකොටුව සත්‍ය ප්‍රමාණයට වඩා ගොඩක්ම කුඩාවට බොහොම අඩු වියදමකින් සහ අඩු කාලයකින් නිර්මාණය කරන්න.. ඊලඟට දක්ශ කැමරාකරුවෙකුට සහ අධ්‍යක්ෂකවරයෙකුට පුලුවන් මේ නිර්මාණය කරපු Miniature එක පාවිච්චි කරලා පුලුල් කැමරා කෝණ වලින් රූගතකිරීමෙන් එය සත්‍ය වශයෙන්ම දැවැන්ත බලකොටුවක් හෝ නගරයක් ආකාරයට චිත්‍රපටය නරඹන්නාට දැනෙන ආකාරයට ඉදිරිපත් කරන්න. මේකට මෙයාලා පාවිච්චි කරන්නෙ ප්‍රසිද්ධ අපිට එදිනෙදා ජීවිතෙත් හමුවෙන දෘෂ්ඨි මායාවක්.. දැකලා ඇති නේද අයිෆල් කුලුනට හේත්තු වෙලා ඉන්න විදියට එහෙමත් නැත්නම් ඉතාලියේ පීසා හි ඇලවෙන කුලුන වැටෙන්න නොදී අල්ලගෙන ඉන්නවා වගේ පේන්න ගහපු photo එහෙම. අන්න ඒ දේ තමයි මේකෙත් පාවිච්චි වෙන්නෙ. මෙයාලා කරන්නෙ අර ඉතාම සූක්ෂමව හදපු miniature එකට ඉතාම ආසන්නයෙන් කැමරාව අටවලා රූගතකිරීම් සිදුකිරීමයි.. ඒකෙන් දුර තියෙන පසුබිම සහ මේ ලඟ තියෙන පොඩි වස්තුව ගාණට balance වෙලා අපිට ඒක දැවැන්ත ඉදිකිරීමක් වගේ පේන්න පුලුවන්.. ඉතින් මෙන්න මේක තමයි miniature වල රහස..


ඊලඟට අපි බලමු මොනවගේ දේවල් වලටද miniature යොදාගන්නෙ කියලා. මේවා යොදාගන්නෙ යම් ඉදිකිරීමක් පුලුල් කෝණයකින් සම්පූර්ණ දර්ශනයක් පෙන්නන්න ඕන අවස්ථාවලදි. මතකද Lord of the Rings වලදි පෙන්නපු Minas Tirith නගරය ඒවගේම Isengard බලකොටුව පෙන්නන අවස්ථාව. අන්න ඒවල අපිට මුලින්ම සම්පූර්ණ දර්ශනයක් පෙන්නන්නවා නේද.. අන්න ඒවගේ අවස්ථාවන් වලදි තමයි මේ miniatures යොදාගන්නෙ.  ඊට අමකරව යමක් විනාශ කිරීමේ අවස්ථා වලදිත් මේවා පාවිච්චි කරනවා.. අපි හිතමු අපිට ඕන බලකොටුවක ප්‍රාකාරයක් බිඳින, පුපුරවා හරින දර්ශනයක් රූගත කරන්න එහෙමත් නැත්නම් දැවැන්ත සතෙක් ඇවිත් සම්පූර්ණ නගරයක්ම බිමට සමතලා කරලා දාන දර්ශනයක් රූගත කරන්න (Godzilla වගේ ). අන්න ඒවගේ අවස්ථාවක අපිට පුලුවන් මේ ප්‍රාකාරය හෝ නගරය කුඩාවට නිර්මාණය කරලා ඒක විනාශ කිරීම සිදුකරන්න. එතකොට වියදම සහ කාලය කියන දෙකම ඉතිරිකරගන්න පුලුවන්. ඒවගේම සත්‍ය ලෝකයේ පැවතුනත් දැන් ඒ අතීත ස්වරූපයෙන් නොපවතින දේවල් නිරූපණය කරන්න උනත් මේ miniatures යොදාගන්න අවස්ථාවන් තියෙනවා. උදාහරණයක් විදියට 1912 දී මුහුදුබත් උන Titanic නෞකාවේ පුලුල් දර්ශනයන් වෙනුවෙන් නැවත Titanic නෞකාව කුඩාවට ප්‍රතිනිර්මාණය කිරීම ගන්න පුලුවන්. ඉතින් මෙන්න මේ වගේ දේවල් වලට තමයි සරලවම miniatures යොදාගන්න පුලුවන්..


අපි අවසානයට බලමු අපිත් Miniature එකක් පාවිච්චි කරනවනම් සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා ගැන..


🔶 මුලින්ම miniature එකක් හදද්දි සැලකිලිමත් වෙන්න ඕන මූලිකම කාරණාව තමයි නිවැරදි පරිමාණයක් භාවිතා කිරීම. ඒ කියන්නෙ අපි miniature එකක් හදද්දි ඒකේ පොඩි details පවා ඇතුලත් කරන්න පුලුවන් තරමට විශාල වෙන්න ඕන වගේම ඒක පහසුවෙන් තැනකින් තැනකට අරගෙන යන්න අමාරු තරම් විශාල වෙන්නත් බෑ. මොකද අපිට අවශ්‍ය කැමරා කෝණවලින් රූගත කරද්දි මේක එහා මෙහා කරන්න හැකිවෙන එක විශාල වාසියක් වගේම අපි මේක යොදාගෙන රූගතකිරීම් කරද්දි කුඩා උනත් අර ඇත්ත ප්‍රමානයේ නිර්මාණය දුරින් බලද්දි පේන විදියටම Details තියෙන එකත් අනිවාර්‍යයෙන් වෙන්න ඕන.. ඒ නිසා වැදගත්ම දේ තමයි මේ දෙපැත්තටම ගැලපෙන පරිමාණයක් තීරණය කරලා නිර්මාණ කටයුතු ආරම්භ කිරීම..


🔶 Miniature එකේ සියලුම කොටස් හොඳට මැලියම් භාවිතාකරල අලවා ගැනීම කරන්න ඕන. ඒ කියන්නෙ Miniature එකක මොනම විදියකටවත් සෙලවෙන කැඩෙන බිඳෙන කොටස් තියෙන්න බෑ. ( නගරයක් විනාශ කරද්දි උනත් මුලින් හොඳ Solid පොනුමක් තියෙන්නෙ ඕන සහ පහසුවෙන් කඩා දාන්න පුලුවන් ද්‍රව්‍ය වලින් ඒක ගොඩනගන්න ඕන) ඒ අනුව තමන් මේ miniature එක යොදාගන්න අවස්ථාව අනුව ඒක නිර්මාණය කරන ද්‍රවය තෝරගන්න ඕන. ඒවගේම ඒවා පාවිච්චිකරලා නියමාකාරයෙන් අලවගෙන Miniature එක හදලා ඉවර කරන්න ඕන. මොකද අපි හරියට මේක හදන්නෙ නැතුව අන්තිමට රූගත කිරීම් වලදි මේවා කෑලි ගැලවිලා වැටෙන්න හෝ සුලඟට කෑලි එල්ලෙන්න ගත්තොත් අර රූගතකිරීම වෙනුවෙන් ගනිපු මහන්සිය සම්පූර්ණයෙන්ම අපතේ යෑමක් වෙනවා. 


🔶 Miniature එකක් සම්පූර්ණයෙන් හදලා නිමකරන්න කලින් මූලික ආකෘතියක් වගේ නිර්මාණය කරගෙන ඒකෙන් අපිට අවශ්‍ය දර්ශන අවශ්‍ය පරිදි ගන්න පුලුවන් ද කියලා පරික්ශා කරන්න ඕන. එතකොට ඒක තමන්ගේ වැඩේට ගැලපෙනවා කියලා තෘප්තිමත් නම් අපිට පුලුවන් තව ගොඩක් details එක්ක miniature එක සම්පූර්ණයෙන් හදලා ඉවර කරන්න. නැත්නම් ඔක්කොම හදලා ටෙස්ට් කරන්න ගිහින් වෙනස් කරන්න උනොත් නම් ඉතින් මල කෙලියක් තමයි වෙන්නෙ.. අනික් දේ තමයි තමන් හදන miniature එක එහා මෙහා ගෙනයාහැකි, කරකැවිය හැකි වේදිකාවක තබා නිර්මාණය කිරීම. ඒකෙන් අපිට පුලුවන් අදාල Miniature එක අවශ්‍ය ආකාරයට පසුබිමත් එක්ක ගලපලා රූගතකිරීම් කරන්න..


🔶 මේවා නිර්මාණය කරද්දි මං කලින් කිව්වා වගේ අදාල අවස්ථාවට සුදුසු අමුද්‍රව්‍ය යොදාගන්න ඕන වගේම තමයි Miniature එක වර්ණ ගැන්වීමෙදිත් ඒකේ මතුපිට ස්වභාවයන්ට ගැලපෙන තීන්ත ජාති තෝරගන්න ඕන.. ගොඩක් වෙලාවට මේවට ගන්නෙ මතුපිට පෘෂ්ඨය රලු ආකාරයෙන් සකස්කරගන්න පුලුවන් තීන්ත ජාති තමයි..


🔶 Miniature එකක හැම දෙයක්ම අපි ඇත්ත ලෝකේ දකින දේවල් වල සම්පූර්ණ කොපියක් වෙන්න ඕනම නෑ. අවශ්‍ය නම් අපිට අදාල දර්ශනය ලබාගනිද්දි අවුලක් නොපෙනෙන විදියට වෙනත් ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුලුවන්. (පොලවට නියමාකාරයෙන් print කරපු කඩදාසි පාවිච්චි කරන්න පුලුවන් වගේම තිරරෙදි සඳහා උනත් ඒ වගේ පේන කඩදාසි යොදාගන්න පුලුවන් ) ඒවා ඇත්ත වගේ පේන එක විතරයි අවශ්‍ය....


🔶 අපි miniature එකක් පාවිච්චිකරලා යම්කිසි පිපිරීමක් රූගත කරනවනම් අනිවාර්‍යෙන්ම ඒ අදාල පිපිරීම වෙන කොටස් වල ඇතුලට, පිපිරීම උනාට පස්සෙ ඇත්තම පිපිරීමකදි දූවිලි, ගල් වැලි කැබලි විසිවෙනවා වගේ පේන ආකාරයට ගල් වැලි දූවිලි ඇතුලත් කරලයි නිර්මාණය කරන්න ඕන..ඒ වගේම ඒ බිඳවැටීම උනාට පස්සෙත් ඇත්ත වගේම පේන්න ( සුන්බුන් වෙලා වගේ ) ඇතුලේ සුන්බුන් තියෙන ආකාරයට නිර්මාණය කරන්න ඕන..


ඔන්න ඔය ටික තමයි miniature එකක් හදනවනම් සැලකිලිමත් වෙන්න ඕන කරුණු කාරණා වෙන්නෙ. ඉතින් ඇතැම් අවස්ථාවලදි නිර්මාණකරුවාගෙ උවමනාව මත එකම ගොඩනැගිලි කොටසෙ විවිධ දර්ශනයන් වෙනුවෙන් විවිධාකාර පරිමාණයන්ගෙන් එම ගොඩනැගිල්ලෙ miniature කිහිපයක් හදන අවස්ථාවනුත් තියෙනවා. ඇතැම් ඒවනම් මං කිව්වට වඩා තරමක් විශාලයි. ඉතින් කොහොම උනත් මේ miniature නිසා ඉතා දැවැන්ත මහන්සියක් සහ කාලයක් අනිවාර්‍යෙන්ම ඉතුරුකරගන්න හැකියාව ලැබෙන බවත් කියන්න ඕන.. ඒත් අද වෙද්දි CGI භාවිතයන් සහ ඒවල තාක්ශණය ඉතාම සීග්‍රයෙන් දියුණු වීම නිසා මං උඩ කිව්වා වගේ හොලිවුඩ් සිනමාවෙත් මේ miniature භාවිතය තරමක් අඩුවේගෙන යනවා( දැන් සම්පූර්ණ නගර පවා ඉතාම තාත්විකව පෙනෙන විදියට පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කරගැනීමේ තාක්ශණික හැකියාවක් තියෙන නිසා).. නමුත් ඇතැම් සුප්‍රසිද්ධ අධ්‍යක්ශකවරුන් පවා තවමත් මේ miniature භාවිතය බහුලව සිදුකරන අවස්ථාවනුත් තියෙනවා. කොහොම උනත් මේ miniatures වඩාත්ම වටින්නෙ අපේ ලංකාවෙ සිනමාවට කියලයි මට හිතෙන්නෙ. අපේ රටේ බහුලව නිර්මාණය වෙන රජ කතා ජාතක කතා වල නිතරම දකින්න ලැබෙන මාලිගා, බලකොටු වගේ දේවල් CGI වලින් හදනවට වඩා miniature එකක් භාවිතා කිරීමෙන් වඩාත් තාත්විකව ඒ දර්ශන ලබාගන්න හැකියාවක් තියෙනවා. ඉතින් දැනට බහුලව භාවිතා වෙන CGI වලට වඩා මේ වගේ Practical effects ක්‍රම වලට යොමුවීමෙන් වඩාත් සාර්ථක සහ තාත්වික පෙනුමක් තියෙන නිර්මාණයක් කරන්න අනිවාර්‍යෙන්ම හැකියාවක් තියෙනවා. ඒවගේම ඉදිරියට ඒ ආකාරයේ නිර්මාණ දැකබලාගන්න අවස්ථාවක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. මේ දේවල් වෙනුවෙන් ඔය හැමෝම නෑ කියන ලොකු බජට් ඕන නෑ.. ඕන නිර්මාණශීලිත්වය ම විතරයි...❤️ ඉතින් එහෙනම් Miniature ගැන කියන්න තියෙන්නෙ මෙච්චරයි. මීට අමතරව ඔයාලා දන්න දේවල් තියෙනවනම් සහ මේ සටහනේ නිවැරදි වෙන්න ඕන දෙයක් තියෙනවා නම් පහලින් comment එකක් දාගෙන යන්න..❤️❤️  මං පහලින් ලෝකයේ දැනට Miniature ආශ්‍රයෙන් නිර්මාණය කරපු ජනප්‍රිය සිනමා නිර්මාණයන් කිහිපයක දර්ශනයන් දාන්නම්. ඒවා බලලා අදහසක් ගන්න පුලුවන්.. ආයෙම මේ වගේ අපූරු තොරතුරක් ගැන ලිපියක් රැගෙන එනතෙක් සමුගන්නම්..❤️  සිනමාලෝලී ඔබ සැමට ජයවේවා !!


                                                                                                                         සිනමාතක්සලාව වෙනුවෙන්                                      ප්‍රගීත් ශාන්  









Post a Comment

0 Comments