ප්‍රංශ සිනමා ඉතිහාසය -01


සිනමාවෙ ඉතිහාසය සම්බන්ධ පළමු ලිපියෙන් ඔබට තොරුතුරු ගෙන ආවේ පලමු වරට මේ චිත්‍රපට හා චිත්‍රපට ප්‍රදර්ශනයේ ආරම්භය සිදුවු ආකාරය පිළිබඳවයි...එහිදි සඳහන් කල පරිදි සිනමාවේ අාරම්භය හා විකාශනය කෙරෙහි දායක වු පලමු යුරෝපා රට වු ප්‍රංශයේ ලුමියර් සහෝදරයන් ලොව පලමු වරට මහජන චිත්‍රපට ප්‍රදර්ශනය සිදු කල ආකාරය ගැන ඔබ⁣ට තොරතුරු ගෙනාවා ඔබට මතක ඇති...1895 දෙසැම්බර් 28 ඒ ප්‍රංශ සිනමාවේ අාරම්භය සිදු වු වසරයි....ප්‍රංශ සිනමාවේ ඉතිහාසය පිළිබඳව ගෙන එන මේ ලිපිය ප්‍රංශ සිනමාවේ අවධානය යොමු කල යුතු ප්‍රධාන අවස්ථාවන් තුනක් යටතේ අවධානය යොමු කිරීමට බලා⁣පොරොත්තු වනවා...ඒ,


01.ප්‍රංශ සිනමාවේ ආරම්භය හා ජොර්ජ් මෙලියස්

02.⁣පලමු ලෝක යුද්ධයෙන් පසු සිනමාව හා ප්‍රංශ උපස්ථිතිවාදය හෙවත් French Impressionism සිනමා ධාරාව 

03.අධි තාත්විකවාදී හෙවත් Surrralism සිනමා ධාරාව 

04.දෙවන ලෝක යුද්ධයෙන් පසු ප්‍රංශ සිනමාව හා ප්‍රංශ නවරැල්ල හෙවත් French New Wave සිනමාධාරාව



ඉහත එක් එක් කරුණු යටතේ අප දැන් ප්‍රංශ සිනමාව විමසා බලමු...


01.ප්‍රංශ සිනමාවේ ආරම්භය හා ජොර්ජ් මෙලියස්





ඕගස්ට් හා ලුවිස් යන ලුමියර් සහෝදරයන්ගේ පළමු අධ්‍යක්ෂණය La sortie des ouvriers de l’usine Lumière (ලුමියර් කර්මාන්තශාලාවෙන් පිටව යන කම්කරුවන්) වෙයි.ඉතිං සිනමාවේ මුල්ම මහජන ප්‍රදර්ශනයේ මංගල දර්ශනය වුනේ ලුමියර් කර්මාන්තශාලාවෙන් සේවය අවසන් කර පිටව යන කම්කරුවන් පිරිසකි.

ලුමියර් සහෝදරයන් 1895 දී  The  Arrival of a Train at La Ciotat Station නම් වු කෙටි චිත්‍රපටය නිර්මාණය කරලා 1896 ජනවාරි මාසයේදි ප්‍රථම මහජන ප්‍රදර්ශනය සිදු කරනවා.ඒ චිත්‍රපටයේ ඇත්තේ දුම්රියක් දුම්රිය ස්ථානයට පැමිණීමේ සිද්ධියක් පමණයි.නමුත් මේ චලනය වන රූප ප්‍රේක්ෂකයන්ට අමුතුම අත්දැකීමක් හා ආශ්වාදයක් ගෙන එන්නට සමත් වෙනවා.



ලුමියර් සෙහොයුරන්ගේ චිත්‍රපට වල තිබුණ සියල්ල මිනිසුන්ගේ එදිනෙදා සාමාන්‍යයෙන් සිදුකරන කටයුතු වල චලන රූප පමණයි.දුම්රිය ස්ථානයට දුම්රියක් පැමිණීම,කර්මාන්තශාලාවකින් සේවකයින් පිට වීම,මිනිසෙක් මාළු බෑම වැනි ඉතා සුළු සිද්ධීන් වල තත්පර 50ක වැනි කෙටි කාලයක්  චලන රූප තුළින් ඔවුන් මවන්නට සමත්  වුනා.ලුමියර් සහෝදරයන්ගේ The  Arrival of a Train at La Ciotat Station චිත්‍රපටය නරඹන ‍ප්‍රේක්ෂකයන් අතරින් එක් මිනිසෙක් සිනමාව කියන විෂයේ අපූර්වත්වය නැත්තම් මැජික් එක දකිනවා. ඒ Georges Méliès⁣ (ජෝර්ජ් මෙලියස්) නම් ප්‍රංශ ජාතික නිර්මාණකරුවා වෙයි.





මෙලියස් ප්‍රංශ සිනමාවට පමණක් නොව ලෝක සිනමාව අද තියෙන තැනට එන්න විශාල සේවයක් කරපු ආරම්භක පුරෝගාමියෙක් වෙනවා.ඔහු  සිදු කරපු පර්යේෂණ හා අත්හදා බැලීම් සිනමාකරණය නම් විෂයට විශාල මෙහෙයක් සිදු කරනවා.1961 දී උපත ලබන මෙලියස් මුලින්ම වේදිකාවල  මැජික් ශිල්පියෙක් ලෙස කටයුතු කල අයෙක් වෙනවා.ඔහු අහම්බයෙන් දකින ලුමියර් සොහොයුරන්ගේ චිත්‍රපට වලට දක්වන ඇල්ම නිසාම මැජික් ප්‍රදර්ශනය වෙනුවට චිත්‍රපට නිර්මාණ හා ප්‍රදර්ශනය කෙරෙහි ඔහුගේ අවධානය යොමු වෙනවා.


මෙලියස් ලුමියර් සොහොයුරන්ගෙන් ඔවුන්ගේ කැමරාව හා ප්‍රක්ෂේපන යන්ත්‍රය මිලදී ගැනීමට කැමත්තෙන් ඒ වෙනුවෙන් යෝජනාවක් ඉදිරිපත් කලත් ලුමියර් සොහොයුරන් ඊට එකඟ නොවන නිසා චිත්‍රපට ප්‍රක්ෂේපණ යන්ත්‍රයක් සොයා මෙලියස් ලන්ඩන් බලා පිටත් වී වෙනවා.ලුමියස් සොහොයුරන්  හා එඩිසන් විසින් චිත්‍රපට ප්‍රක්ෂේපණ යන්ත්‍ර නිපද වූ පසුව ලොව පුරා නව නිපැයුම් කරුවන් එවැනි යන්ත්‍ර නිපදවීමට පෙළඹීමේ ප්‍රතිඵලයක් විදියට ලන්ඩන් නුවර රොබට් ඩබ්.පෝල් නිපදවු Animatograph නම් චිත්‍රපට ප්‍රක්ෂේපණ යන්ත්‍රය ගැන මෙලියස්ට තොරුතුරු දැනගැනීමට ලැබෙනවා.ඒ අනුව මෙලියස්ගේ ලන්ඩන් ගමනේ අරමුණ සාර්ථක කරගනිමින් එම යන්ත්‍රය මිලදී ගෙන නැවත ප්‍රංශය බලා පැමිණෙනවා.


ප්‍රංශයට පැමිනීමෙන් පසුව මෙලියස් Animatograph යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය අධ්‍යනය කිරීමේ ප්‍රතිඵලය ලෙස ඔහු වෙනමම එය සිනමා කැමරාවක් ලෙසද නිර්මාණය කිරීමට සමත් වෙනවා.1897 දී පේටන් බලපත්‍ර ලබාගැනීමෙන් පසුව Robert- Houdin Kinetograph ලෙස හදුන්වා ඇති මේ යන්ත්‍රය ප්‍රංශයේ අනිත් සිනමාකැමරා නිර්මාණකරුවන් වු ලුමියර් සොහොයුරන්ගේ කැමරාව හා පාතේ හා ගවුමොන්ට් කැමරාවලට වඩා වැඩි ප්‍රසිද්ධියක් ලබාගන්නට සමත් වෙලා තියෙනවා.


ඉන්පසුව ඔහු චිත්‍රපට නිර්මාණ කිරීමට ආරම්භ කර ඇති අතර ඔහුගේ පලමු චිත්‍රපටය 1896 අප්‍රේල් මාසයේදි ඔහුගේ රඟහලේදීම ප්‍රදර්ශනය සිදු කර තිබෙනවා.මුල්කාලයේ ඔහු නිර්මාණය කල චිත්‍රපට එඩිසන් හා ලුමියර් සොහොයුරන්ගෙ චිත්‍රපට මෙන් වුවත් පසුව ඔහු විවිධ අත්හදා බැලීම් සිදු කිරීමට පෙළඹී ඇත.ඔහුට එක්තරා  චිත්‍රපටයක් නිර්මාණය කිරීමේදි සිද වු අහඹු සිදුවීමක් මෙතෙක් නිර්මාණය වු සිනමා කලාව වෙනස් කිරීමට හේතු වෙනවා.ඔහු සඳහන් කරන ආකාරයට දිනක් ඔහු ප්‍රංශයේ වේදිකාවක චිත්‍රපටයක් රූගත කරමින් සිටින අවස්ථාවක ඔහුගේ කැමරාවේ ෆිල්ම් පථය සිරවී ඇති අතර ඒ වෙලාවේ කැමරාවේ සටහන් වී තිබී ඇත්තේ පාරේ ළමුන් උඩ පනිමින් ඇවිදමින් ,මිනිසුන් පාරේ යමින් මෙන්ම අශ්ව කරත්තයක් ගමන් කරමින් හා මගී අශ්ව කරත්තයක් ගමන් කරමින් වෙයි.කැමරාවට අතින් පහර දී නැවත කැමරාව සකස් කරගත් පසුව ඔහු දැක ඇත්තේ පාරේ සිටි මිනිසෙක් වෙනුවට ගැහැණියක්ද මගී අශ්වකරත්තය වෙනුවට මිනී පෙට්ටියක් රැගත් අශ්ව කරත්තයක් සටහන් වී ඇති අයුරු ප්‍රක්ෂේපණයේදි දකින මෙලියස් මේ හරහා සිනමාවේ අපූරත්වය මුලින්ම වටහාගෙන තිබෙනවා.මේ ක්‍රමය  Stop Trick නම් වෙයි.පසුව මෙසේ ඔහු කැමරාව නවත්වා වස්තුන් වෙනස් කර මේ ක්‍රමයෙන් චිත්‍රපටය බලා සිටින ප්‍රේක්ෂකයාව මවිත කරවීමට සමත් වී ඇති අතර මෙසේ Stop Trick යොදාගෙන ඔහු නිපදවනු ලබන පලමු චිත්‍රපටය The Vanishing Lady වෙයි.මෙලියස් මේ නිසා සිනමාව හරහා මිසොන් සෙන් ප්‍රබලත්වය පෙන්වු පලමු චිත්‍රපට නිර්මාණකරුවා ලෙසද හදුන්වාදිය හැකි වෙයි.          



1896 දී ඔහු ඔහුගේම Star Film සිනමා චිත්‍රාගාරයක් නිර්මාණය කරන්නේ ලොව ප්‍රථම සිනමා චිත්‍රාගාරය ලෙසයි.ප්‍රධාන වේදිකාවේ බිත්ති හා වහලය පවා වීදුරු වලින් නිර්මාණය කර ඇත්තේ හිරු එළිය මඟින් ආලෝකය හොඳින් ලබාගැනීම වෙනුවෙන් වෙයි.ඇදුම් නිර්මාණය හා පසුතල නිර්මාණයන්ට වෙනමම ඉඩක් වෙන් කර ඇති අතර රූගත කරන චිත්‍රපට කළු සුදු චිත්‍රපට නිසා ඇදුම් පැළඳුම් වේෂ නිරූපණ සියල්ල අළු පැහැයේ විවිධ පරාසයන්ගෙන් සිදු කිරීමට ඔහු කටයුතු කර තිබෙනවා.පසුතල සඳහා වෙනමම නිර්මාණය කර පාට ගැන්වු කට්ටල ඉදිරියේ සිදුකරන රංගනයන් වෙනුවෙන් ඔහු මැජික් හා සංගීත ප්‍රදර්ශන වල ආභාෂයන් ගෙන ඇත.මෙසේ මිසොන් සෙන් ගුණාංගයේ ප්‍රබලත්වය සමඟ ඔහු මෙතෙක් පැමිණි සිනමා⁣ව වෙනත් මානයක් කරා ගෙන යාමට කටයුතු කර ඇත්තේ චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වශයෙන් පමණක් නොව තිරරචනය,ඇදුම් නිර්මාණය,පසුතල නිර්මාණය,නිෂ්පාදනයට දායක වීම මෙන්ම රංගනයටද ඔහු දායක වීමෙන් වෙයි.


1896 සිට 1913 දක්වා කාලවකවානුව තුල මෙලියස් චිත්‍රපට 500ක් නිර්මාණය කර ති⁣බෙනවා...මේවා ඇත්තටම මෙලියස් සිනමාව මැජික් බවට පත් කල අවස්ථා ලෙසද හදුන්වාදෙන්නට පුළුවන්.1898 දී මෙලියස් පලමු වරට Double Exposure සංකල්පය යොදාගනු ලබනවා.ඔහු මෙය සිදු කරනනේ ෆිල්ම් නෙගටිව් පථය දෙවරක් කැමරාව තුලින් යවමින් වෙයි.එසේ පලමු වර⁣ට සටහන් වෙන රූපරාමුවේ දෙවන වරට සටහන් වෙන රූපරාමුව යන්තමින් පෙනෙන සේ සටහන් වී පෙනෙයි.එතනින් එහාට ඔහු සිදුකරන අත්හදා බැලීමේ ප්‍රතිඵලය Split Screen වෙයි.එනම් එක්වරකදි නෙගටිව් පථයේ එක්රාමුවක එක් පැත්තක් වසා රූගත කිරීම් සිදු කරයි.පසුව නෙගටිව් පථය ගෙන රාමුවේ වසා දැමු පැත්ත විවෘත කර අනිත් පස වසා නැවත රූගත කිරීම සිදු කරයි.මුද්‍රණයේදි එකම රාමුවේ සටහන් වු රූප එකම රාමුවක ඇති සේ පෙනෙන අතර මෙයින් වර්තමානයේ Double Action හෙවත් ද්විත්ව රූපරාමුවක් සේ හදුන්වන ක්‍රියාවලිය එසේ  ලබාගැනීමට මෙලියස්ට හැකි වී ඇත


Split Screen සංකල්පයම මෙලියස් තව වැඩි දියුණු කර Matting යන ක්‍රමය අත්හදා බලා ඇත.කැමරාවේ කාචයට අඩක් අදුරු කල වීදුරුවක් තබා රූගත කිරීම් සිදුකර පසුව වීදුරුවේ අනිත් පැත්ත අදුරු කර නැවත රූගත කිරීම් සිදු කරයි.අවසානයේ එක රූපරාමුවක තවත් රූපරාමුවක් ලෙස සටහන් වී ඇති අතර එය යොදාගනිනමින් නිර්මාණය කල චිත්‍රපටයක් ලෙස The one Man Band චිත්‍රපටය හදුන්වා දිය හැකි වෙනවා.මෙලියස්ම රංගනයෙන් දායක වු එම චිත්‍රපටයේ සංගීත කණ්ඩායාම් සංගීත අධ්‍යක්ෂක මෙන්ම වාදකයන් ලෙසද සිටින්නේ මෙලියස්ම වෙයි...










1902 දී මෙලියස්ගේ මාස්ටර්පීස් නිර්මාණය ලෙස හදුන්වන A Trip to the Moon චිත්‍රපටය නිර්මාණය කරනු ලබනවා.එය නිර්මාණය වෙන්නේ ජනප්‍රිය ලේඛක පූල්ස් වර්න්ගේ From the Earth to the Moon හා H.G.Walles ගේ The First Men in the Moon කතා ද්විත්වයයි.මේ චිත්‍රපටය ලෝක සිනමාවේ ප්‍රථම විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය වනවා.විද්‍යාඥයින් කිහිපදෙනෙක් හදට ගොස් පිටසක්වල ජීවින් සමඟ සටන් කර,තරු යට නිදාගෙන නැවත සාර්ථකව පෘතුවියට පැමිණීම මෙහි කතා සාරාංශය වෙයි.විනාඩි 15 ක ධාවන කාලයක් ඇති චිත්‍රපටයේ ෆිල්ම් පටයේ දිග අඩි 825ක් ⁣බව සඳහන් වෙයි. එය ඒ වනතෙක් නිර්මාණය වු වැඩිම ධාවන කාලයක් සහිත චිත්‍රපටයද වනවා.


මෙම චිත්‍රපටය මෙලියස් විසින් කළු සුදු චිත්‍රපටයක් ලෙසද අතින් වර්ණ ගැන්වූ වර්ණ චිත්‍රපටයක් ලෙසද පිටපත් නිකුත් කරන අතර මේ චිත්‍රපටය ප්‍රංශයේ ආදායම් අතින් සාර්ථක හා ජනප්‍රිය චිත්‍රපටයක් වනවා පමණක් නොව ⁣ඇමරිකාවේද ජනප්‍රිය වනවා...එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ සිටි තෝමස් අල්වා එඩිසන්,විලියම් සෙලිජ්,සීග්මන්ඩ් ලුබින් යන නිෂ්පාදකවරු අනවසරයෙන් මේ චිත්‍රපටය පිටපත් කර මෙය ප්‍රදර්ශනය කිරීමෙන් ලාභ උපයා ඇති නිසාම මෙලියස් පසුව ඔහුගේ Star Film නිෂ්පාදනය ආයතනයේ ශාඛාවක් ඇමරිකාව තුල පිහිටුවා ඇත්තේ මෙලියස්ගේ සහෝදරයා වු ගැස්ටන් මෙලියස් යටතේ වෙයි....මෙලියස් මෙම චිත්‍රපටය අතින් වර්ණ ගැන්වීම ගැන සඳහන් කිරීමක් සිදු කලහොත් එහිදි රූප රාමුවෙන් රූපරාමුවට වෙනමම වර්ණ ගැන්වීම සිදුකලා පමණක් නොවෙයි...එහි පිටපත්ද වෙන වෙනම රූපරාමුවෙන් රූපරාමුවට වර්ණ ගැන්වීම සිදු කර ඇත...


A Trip to the Moon චිත්‍රපටයේ සාර්ථකත්වය සමඟ මෙලියස් වසරකට චිත්‍රපට 25-75 ක් පමණ සිදු කර අැත...මෙලියස් විසින් 1902 දී  බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි 7 වන එඩ්වඩ් රජුගේ රාජාභිෂේකය සිදුවීමටත් පෙර එහි සිදුවීම් අළලා නිර්මාණය කල The Coronation of the Edward VII චිත්‍රපටය මෙන්ම ගලිවර්ගේ චාරිකාව ගැන ලියවුණු Jonathan Swift ගේ කෘතිය ඇසුරෙන් Gulliver's Travel Among the Lilliputians amd the Giants චිත්‍රපටයත් Daniel Defore ගේ රොබින්සන් කෘෘසෝ නවකතාව ඇසුරෙන් Robinson Crusoe චිත්‍රපටයද ඉහළ පිරිවැයක් යොදා මෙලියස් විසින් නිර්මාණය කල හා ඉමහත් ජනප්‍රියත්වයට මෙන්ම ඉහල ආදායම් ලද චිත්‍රපට වනවා...


පසුව 1908 වන විට  ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදන ආයතන ලාභ ලැබීමේ අරමුණු වල ප්‍රතිඵල ඇතිවීම නිසාත්  කල කිරීමට පත් වු මෙලියස් චිත්‍රපටය නිර්මාණයෙන් කෙමෙන් කෙමෙන් ඈත් ⁣වීමට පටන් ගෙන ඇත..1910 -12 කාලවකවානුවේ ඉතා සුළු චිත්‍රපට ප්‍රමාණයක් නිර්මාණය කරන මෙලියිස්ලේ සිනමාගමන අවසන් වීම⁣ට හේතුවන්නේ Charles Pathe වෙයි...අවසානයේ ඉතා අධික පිරිවැයක් යොදා කල චිත්‍රපට අසාර්ථක වීමත් බැංකු ණය ආදිය එකතු වීමත් සමඟ අවසානයේ මෙලියස්ගේ නිවස හා චිත්‍රාගාරය පවා Pathe සතු වනවා...පලමු ලෝක යුද්ධය සමඟ ප්‍රංශ සිනමාව සම්පූර්ණයෙන්ම බිඳ වැටෙද්දි මෙලියස්ගේ චිත්‍රපට ඇතුලත් ෆිල්ම් අවසානයේ සපත්තු අඩි බවට පත් විය...


මෙලියස් චරිතය ඇසුරෙන් 2011 දී මාර්ටින් ස්කෝසිස් නිර්මාණය කල Hugo චිත්‍රපටය පරිදිම ජීවිතයේ අවසාන කාලවේ දුමිරිය  පොළක් අසල රසකැවිලි ⁣විකුණමින් ජීවත් වු මෙලියස් 1938 දි මියගොස් ඇත...



ප්‍රංශ සිනමාවේ මේ කාලවකවානුව එනම් ආරම්භක වකවානුවේ කතා කල යුතු අනිත් වැදගත් චරිතය නම් ලොව ප්‍රථම කාන්තා අධ්‍යක්ෂකවරිය වන Alice Ida Antoinette Guy-Blache වෙයි ..


ප්‍රංශයේ කැමරා උපකරණ හා උපාංග නිෂ්පාදන හා අලෙවිය සිදු කල ප්‍රධාන සමාගමක හිමිකාරිත්වය දැරූ Leon Gaumont ගේ ලේකම්වරිය ලෙස සේවය කල ඇයට ලුමියර් සහෝදරයන්ගේ පලමු චිත්‍රපට ප්‍රදර්ශනයන්ගෙන් එක් ප්‍රදර්ශනයක් නැරඹීමට වාසනාව උදාවී අැත...ලුමියර් සහෝදරයන්ගේ චිත්‍රපට නැරඹීමෙන් පසුව ඇයට චිත්‍රපටයක් නිර්මාණය කිරීමට තිබු කැමැත්ත නිසා Gaumont ගේ සහයෝගයෙන් Guy විසින් 1896 දී සිය පලමු චිත්‍රපටය වන The Fairy of theCabbages චිත්‍රපටය නිර්මාණය කර ඇත...


1907 දී ඇය විවාහ වු Harbert Blache සමඟ Gaumont සතුවු එවකට ඇමරිකාවේ විශාලතම චිත්‍රපට ස්ටුඩියෝවහරහා නිකුත් වු චිත්‍රපට විශාල ප්‍රමාණයකයට සම්බන්ධ වීමට ඇයට හැකි වී ඇත...එසේ 1907 න් පසුව ඇයට හොලිවුඩය හා සම්බන්ධ වී චිත්‍රපට විශාල ප්‍රසාණයක් නිර්මාණය කිරීමට සමත් වී ඇත...ඇයගේ සිනමා භාවිතයන්ගේ ආභාෂය ලැබු අය අතර ඇල්ෆඩ් හිච්කොක් මෙන්ම සර්ජි අයින්ස්ටයින්ද පසු වනවා...


මෙසේ පලමු ලෝක යුද්ධය වන තෙක් දිව යන ප්‍රංශ සිනමාවේ මීළඟට අවධානය යොමු කිරීමට ඇති පලමු ලෝක යුද්ධයෙන් පසු සිනමාව හා ප්‍රංශ උපස්ථිතිවාදය හෙවත් French Impressionism සිනමා ධාරාව පිළිබඳව මීළඟ ලිපියෙන් කරුණු ගෙන එන අතර මෙලියස්ගේ A Trip to the Train චිත්‍රපටයත්  මෙලියස්ටග් චරිතය හා ඔහුගේ සිනමාදිවිය අළලා ඔහුට කරන ගෞරවයක් ලෙස ස්කොසීස් 2011 වසරේදි  නිර්මාණය කල Hugo චිත්‍රපටයත් නරඹන්නට ඔබට ආරාධනා කරනවා...


                                      සිනමාතක්සලාව වෙනුවෙන් 
                                      -අනුෂ්ක රසාංජන ද සිල්වා-

Post a Comment

0 Comments