Film Editing Technique -01




අද අපි කතාකරන්න යන්නේ Film Editing නැත්තම් චිත්‍රපට සංස්කරණය ගැන...චිත්‍රපටයක සංස්කරණය ඇයි වැදගත්...කොහොමද මේක ඇතිවුනේ වගේම ප්‍රධාන සංස්කරණය සිදුකරන ශිල්ප ක්‍රම නැත්නම් ප්‍රධාන වශයෙන් යොදාගන්න Technique ගැන කතා කරන්න තමයි මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ...


චිත්‍රපට සංස්කරණය කියන්නේ මොකද්ද කියලා මුලින්ම බැලුවොත් චිත්‍රපට සංස්කරණය කියන්නේ අධ්‍යක්ෂකවරයාගේ දැක්ම අනුව චිත්‍රපටයක රූගත කල  රූප කණ්ඩයන් සම්බන්ධ කිරීම නැත්නම් එකතු කිරීමේ ක්‍රියාවලිය වෙනවා...මේක සංස්කරණය ශිල්පියා විසින් සිදු කරන ක්‍රියාවලියක්...ඒත් සමහර අධ්‍යක්ෂකවරු එයාලා විසින්ම සංස්කරණය කරගන්න අවස්ථාත් තියෙනවා...


චිත්‍රපට සංස්කරණ ඉතිහාසය ගැන බැලුවොත් චිත්‍රපට කියන දේ අාරම්භ වුන කාලේ සංස්කරණය කියලා වෙනම දෙයක් සිද්ධ වුනේ නැහැ...නිකම්ම රූගත කරන එක පෙන්නනවා...සිනමාඉතිහාසය ගැන ලියපු දෙවන ලිපියේ ප්‍රංශ සිනමා ඉතිහාසය ගැන කියනකොට කිව්වා මතක ඇති ජෝර්ජ් මෙලියස්ගේ සිනමාභාවිතයන් ගැන....⁣මෙලියස් කියන්නේ සිනමාවට විශේෂ ප්‍රයෝග හදුන්වලා දීපු පුරෝගාමියෙක්...එයාගේ විශේෂ ප්‍රයෝග චිත්‍රපට වලට එකතු කරන්න තමයි මේ සංස්කරණය කියන දේ වැදගත් වුනේ...ඊට පස්සේ චිත්‍රපට සංස්කරණය කියන දේ චිත්‍රපටවලට බද්ධ වෙන්න පටන් ගන්නේ 1910 හා 1920 දශකයේ ඇති වෙන The Soviet Mntage සිනමාධාරාවෙන් පස්සේ....(මේ සිනමාධාරාව ගැන ඉදිරියේදි ලිපියක් පළකරනු ඇත...)


මුල්කාලයේදි සංස්කරණය කියලා ඇත්තටම සිද්ධ වුනේ Film (මේ ගැන ලිපියක්  සමූහයේ පල කර ඇත..) පටයන් කැපීම හා ඇලවීමයි...ෆිල්ම් නෙගටිව් පට වල පිටපත් අතින් කරපු මේ ක්‍රියාව පස්සේකාලේදි Faltbed කියන යන්ත්‍රය නිසා පහසු වෙලා තියෙනවා...ඊටත් දශක ගණනාවකට පස්සේ මේ ඩිජිටල් තාක්ෂණයේ ආගමනයත් එක්ක සංස්කරණය පරිගණක ඇසුරෙන් කරගෙන අද වෙනකොට non linear digital editing ක්‍රමයෙන් චිත්‍රපට සංස්කරණය සිදු කරනවා...


🎞️චිත්‍රපට සංස්කරණය සිදු කරන පියවර ගැන බැලුවොත් පියවර හතරකින් අපිට මේ චිත්‍රපට සංස්කරණය ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්....මේ ක්‍රියාවලිය චිත්‍රපටයක පසු නිෂ්පාදන අවධිය කියලා සාමාන්‍යයෙන් හදුන්වනවා...


01.Logging (ලේඛන ගත කිරීම) :

 Assistant Editor නැත්නම් සහකාර සංස්කරණය ශිල්පියා විසින් රූගත කරලා ලැබිලා තියෙන චිත්‍රපටයේ කොටස් එකතු කරගෙන ලේඛනගත කරනවා...මේ කොටස් වලට Dailies (ඩේයිලීස්) කියලා කියනවා...අධ්‍යක්ෂක හා සිනමැටෝග්‍රැෆිකරණ ශිල්පියා මේකේ සමහර වැදගත් කොටස් ලකුණු කරනවා...ඒකෙන් සංස්කරණය ශිල්පියාගේ ක්‍රියාවලිය පහසු වෙනවා...සාමාන්‍යයෙන් විනාඩි 100ක චිත්‍රපටයක මි.මී.35 ෆිල්ම් පටයේ දිග අඩි 9000 ක් වෙනවා...එ්ත් රූගත කරලා දෙන පටයෙ දිග සමහර වෙලාවට  අඩි 5000,000 වෙනනවා නම් සංස්කරණය ශිල්පියාට ඒක අඩි 9000ට අඩු කරන එක කොච්චර අමාරු වැඩක්ද කියලා හිතාගන්න පුළුවන් ඇති...

සාමාන්‍යයෙන් රූගත කරලා ඉවර වෙලා දවසක් දෙකක් ඇතුලත සංස්කරණ ශිල්පියාට රූගත කල කොටස් යැව්වාම සංස්කරණ ශිල්පියා ඒවා බලලා අඩුපාඩු තියෙනවා නම් අධ්‍යක්ෂකට දැනුම් දෙනවා...සමහර කොටස්වල අඩුපාඩු තියෙනවා නම් අධ්‍යක්ෂක ආපහු ඒවා රූගත කරලා යවනවා...


02.First Assembly (කොටස් එකතු කරගැනීම): 

රූගත කිරීමෙන් එකතු වෙන කොටස් වලින් සංස්කරණයට තෝරගන්න කොටස් එකතු කරගන්න වැඩේ තමයි මෙතනදී වෙන්නේ...සංස්කරණ ශිල්පියා පිටපතට අනුව පිළිවෙළට කොටස් ටික මෙතනදි එකතු කරගන්නව...


03.Rough Cut (දළ සංස්කරණය): 

එකතු කරගත්ත දර්ශන වලින් පලමු  දළ සංස්කරණයක් සංස්කරණ ශිල්පියා සකස් කරගන්නවා...මේ දළ සංස්කරණයට සංගීතය හෝ අතිරේක ශබ්ද ඇතුල් වෙන්නේ නැහැ...මේ දළ සංස්කරණය අධ්‍යක්ෂක හා සංස්කරණ ශිල්පියා දෙන්නාම එකතු වෙලා කරන දෙයක්...අධ්‍යක්ෂකට වැරදි අඩුපාඩු බලාගන්න හම්බවෙන මේ අවස්ථාවේ කපලා අයින් කරන දේවලුත් දෙන්නා තීරණය කරනවා...මෙතනදී තමයි ඩිරෙක්ට්ර් කට් එක හැදෙන්නේ...අද වෙනකොට සමහර අවස්ථාවලදී  ෆයිනල් කට් එක තියටර් වලට රිලීස් වුනාට පස්සේ ඩිරෙක්ටර් කට් එක රිලීස් කරනවා...(ස්නයිඩර් කට් එක කියන්නේ මේකට උදාහරණයක්..)


04.Final Cut (අවසාන පිටපත) : 

අධ්‍යක්ෂක හා සංස්කරණ ශිල්පියා එකතු වෙලා හදාගන්න අන්තිම පිටපත තමයි මේක....මෙතනදි කලින් දළ පිටපතේ තිබුණ ගොඩාක් කොටස් අයින් වෙන්න පුළුවන්...මේකට භාවිතා නොකරපු ඉතිරි රූගත කොටස් Out takes කියලා හදුන්වනවා....




Editing Technique in Film
චිත්‍රපට සංස්කරණ ශිල්ප ක්‍රම


දැන් අපි බලන්න යන්නේ සංස්කරණය සිදු කිරීමේදි යොදාගන්න ප්‍රධාන ශිල්ප ක්‍රම මොනවාද කියලා...


01.Continuity Editing (අඛණ්ඩතා සංස්කරණය)


අඛණ්ඩතා සංස්කරණය කියන්නේ රූප ඛණ්ඩ වලින් රූප කණ්ඩ වලට හොද සම්බන්ධයක් පෙන්නන්න යොදාගන්න සංස්කරණය ශිල්ප ක්‍රමයක්...දෙන්නෙක් හරි කිහිප දෙනෙක් අතර හරි දෙබසක් කියනකොට එ්  අය අතර තියෙන සම්බන්ධය කාලය අතර සම්බන්ධය නැත්නම් අඛණ්ඩතාවයක් තියාගන්න තමයි මේක වැදගත් වෙන්නේ....මේ විදියේ සංස්කරණයක කිසිම බාදාවක් නැහැ..එකමවිදියට සුමටව ගලාගෙන යාමක් තමයි තියෙන්නේ...


දෙන්නෙක් අතර දෙබසක් සිද්ධ වෙනකොට යොදාගන්න 180° ක්‍රමවේදය ගැන කිව්වා මතක ඇති...එ් වගේ වෙලාවක දෙන්නා අතර ඇති කරන්නේ මේ වගේ අඛණ්ඩතා සංස්කරණයක්...


02.Cross Cutting (අතුරු ඡේදනය)


එකම වෙලාවේ වෙනස් වෙනස් තැන් වල සිද්ධ වෙන සිද්ධි කිහිපයක් එකට එකතු කරන්න තමයි මේ සංස්කරණය යොදාගන්නේ...මේ විදියෙන් බලන් ඉන්න අයට තේරෙනවා මේ සේරම වෙන්නේ එකම වෙලාවේ කියලා...Inception ෆිල්ම් එකේ අන්තිම මෙහෙයුමේ හීනයෙන් හීනයට ලෙවල් වලට යනකොට එකම වෙලාවේ මේ සේරම සිද්ධ වෙන්නේ කියලා පේනනන්න මේ විදියේ Coss Cutting යොදා ගත්ත විදිය එක උදාහරණයක් විදියට කියන්න පුළුවන්....


03.Cutaway


එක රූපඛණ්ඩකයකින් තව වෙනස් රූප ඛණ්ඩකයකට මාරු වෙන අවස්ථාවල යොදා ගන්න සංස්කරණය තමයි මේක...මේකෙදි පලවෙනිඑකට දෙවනි එක අතරේ කලින් කතා කරපු Cross Cutting වගේ කාලය අතර සම්බන්ධයක් හරි මුලින්ම කියපු Continuity Editing වගේ රූපරාහු අතර සම්බන්ධයක් නැහැ...එකපාරට බලන් ඉන්න අයගේ අවධානය වෙනස් කරනවා...


සමහර දර්ශන වලදි ඒකට ව්‍යාංගාර්ථයක් එකතු කරන්න පෙන්නන රූපරාමු වුනත් මේවිදියට එකතුකරන්න පුළුවන් ....ඒ කියන්නේ කෙනෙක් හොඳටම පීඩනයකින්,තරහකින් ඉන්නවා නම් එකපාරටම ඊළඟට ගිනි ගොඩාක් පෙන්නනවා...මේ වගේ අවධානය වෙනස් කරන සම්බන්ධයක් නැති රූපඛණ්ඩක එකතු කරන්න යොදාගන්න සංස්කරණ ක්‍රමවේදයක් තමයි Cutaway කියන්නේ....


04.Dissolve (සම්මිශ්‍රණය)


එක රූපඛණ්ඩකයක් මැකිලා යන්න කලින් තව රූප ඛණ්ඩයක මතු කරන එක තමයි මේ Dissolve නැත්තම් සම්මිශ්‍රණය කියන්නේ....


රූප ඛණ්ඩ අතර සමපාත වීමක් හෝ සමාන්තර වීමක් හරි නැත්තම් කාලය ගත වීමක් පෙන්නන්න මේ සංස්කරණ ශිල්ප ක්‍රමයෙන් පුළුවන් වෙනවා...


05.Fade ( මැකී යාම්)


මේකත් එක්තරා විදියක සම්මිශ්‍රණයක් කියන්න පුළුවන්...ඒ කළු හෝ සුදු විදියට කරන සම්මිශ්‍රණයක්...කළු පාටින් හෝ සුදුපාටින් දර්ශන ඛණ්ඩයක් මැකිලා යන අවස්ථා මතක ඇති...ගොඩාක්ම ෆිල්ම් ඉවරවෙන්නේ කළු පාටින් නැත්නම් ආලෝකයෙන් අදුරට යෙන Fade out විදියට...


Black Swan චිත්‍රපටයේ අවසානය මතකයි නම් ඒක ඉවර වෙන්නේ සුදුපාටින් මැකිලා ගිහිං....නිනාගේ චරිතය එයාගේ අරමුණ මුදුන්පමුනුවා ගත්තා කියන්න එහෙම නැත්නම් දැන් එයාගේ චරිතය අවසන් කියලා ඒ අවසානයෙන් අපිට පෙන්නනවා...චිත්‍රපටයක චරිතයක් අවසානයේදි මැරෙනවා නම් මේ විදියට සුදුපාටින් මැකිලා  යන විදිය බලාගන්න පුළුවන්...ඉතිං නීනා මැරුණා කියන්නත් පුළුවන්..


06.J&L Cut 


රූප කණ්ඩයක් ඉවරවෙලා තව එකක් පටන් ගන්න කලින් ඒ පටන් ගන්න රූපඛණ්ඩකයට සම්බන්ධ දෙබසක් හරි සංගීත ඛණ්ඩයක් හරි කලින් ඇහෙන අවස්ථා මතකද...නැත්නම් මේකේ අනිත් පැත්ත රූපඛණ්ඩකයක් ඉවර වෙලා තව එකක් පටන් ගත්තට පස්සෙත් කලින් රූප ඛණ්ඩයට සම්බන්ධ  ඒ විදියට ශබ්දයක් ඇහෙන අවස්ථා මතකද...


ඒ කලින් කියපු එක සීන් එකකින් අනිත් එකට මාරු වෙන්න කලින් දෙවනි සීන් එකේ සවුන්ඩ් මුලින්ම ඇහෙන විදියට කරන එඩිටින් ටෙක්නික් එකට කියන්නේ J cut...

එක සීන් එකක් ඉවර වෙලා දෙවනි එක පටන් ගත්තට පස්සෙත් කලින් සීන්  එකේ සවුන්ඩ් ඇහෙන එඩිටින් ටෙක්නික්එක තමයි L Cut කියන්නේ...


මේක මතක තියාගන්න ලේසි විදියක් තමයි සාමාන්‍යයේන් එඩිටින් සොෆ්ට්වෙයා එකක වීඩියෝ එක යටින් ඔව්ඩියෝ එක තියෙන්නේ...J cut එකේදි මේ දෙක තියෙන්නේ L අකුර අනිත් පැත්ත ගහපු හැඩයක්..ඒ කියන්නේ J වගේ හැඩයක්...L Cut එකේදි ඔව්ඩියෝ එක ඉස්සරහට ගිහිං L හැඩයක් තමයි එන්නේ....


07.Jump Cut (ජේදන පැනීම්)


මේකෙදී මුලින්ම කතා කරපු Continuity Editing වගේ එකම රූප කණ්ඩයේ රූපරාමු අතර අඛණ්ඩවතාවක් දකින්න බැහැ.මේක ප්‍රංශ නවසිනමාරැල්ල සිනමා ධාරාවෙන් ඇති වුන එකක්....එකම රූප ඛණ්ඩය තැනන් තැන තැනින් තැන කපලා එකතු කරපු ක්‍රමයක් තමයි මේකේදි දකින්න තියෙන්නේ....


08.Match Cut 


මේ Match Cuts කියන  Editing Technique එක Dissolve එකට සමානයි..Match Cut ආකාර තුනන් තියෙනවා...පලවෙනි එක ග්‍රාෆික සම්බන්ධතාවයක් නැත්නම් Graphic Match Cut...මේකෙදි වෙන්නේ එක රූප කණ්ඩකයකට තව රූප කණ්ඩකයක් සමපාත කරන එක...2001 Space Odyssey ෆිල්ම් එකේ වානරයෙක් අස්ථියක් ඉහළට විසි කරන එක මතකද.. ඊළඟ ෂොට් එකේදි අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් ඒකට සමපාත වෙනවා....මෙතනදි වෙන්නේ පලවෙනි හා දෙවනි රූප කණ්ඩකයන් අතර ග්‍රාෆික සම්බන්ධතාවයක් පෙන්නන එක...මේකට කියන්නේ Graphic Match Cut කියලා...


දෙවනි එක Movements Match Cut....කලින් එකේදි රූප අතර සම්බන්ධයක් පෙන්නුවා වගේ මේකේදි පෙන්නන්නේ කැමරා චලනයන් නැත්නම් Movements අතර සම්බන්ධයක්...පලවෙනි එක Pan Shot එකකින් ඉවරකරනවා නම් දෙවනි එක පටන් ගන්නේ Pan Shot එකකින්...ෆිල්ම් වල දැකලා ඇති පලවෙනි රූප කණ්ඩයේදි වාහනයක් කැමරාව ඉස්සරහින් ගිහිං වාහනය ගිහිං ඉවර වුනාම තියෙන්නේ වෙන රූප කණ්ඩයක්...


මේකට කියන්නේ Pass By Effect කියලා...කැමරාව ඉස්සරහින් චලනය වෙන දෙයක් හරහා Transition එකක් නැත්නම් රූප රාමු මාරු කරන එක මේ Movements Match Cut යොදාගන්න සුලභ අවස්ථාවක්....


තුන්වෙනි එක Audio Match Cut...පලවෙනි එකේදි රූප අතර සම්බන්ධයක්...දෙවනි එකේදි රිද්මය නැත්නම් චලය අතර සම්බන්ධයක්...තුන්වෙනි නැත්නම් මේ Audio Match Cut කියන්නේ ශබ්දය අතර සම්බන්ධයක් ඇති කරන එක....පලවෙනි රූපකණ්ඩයට සම්බන්ධ ශබ්දයක් දෙවනි එකට සම්බන්ධ කරන එක නැත්තම් තව සරලව කිව්වොත් මෙහෙම උදාහරණයක් අරන් බලමු...අසල්වැසි ගෙවල් දෙකක සිද්ධීන් දෙකක් පෙන්නවා...ගෙවල් ළඟ ශබ්ද විකාශන යන්ත්‍රයක් ක්‍රියාත්මක වෙනවානම් ගෙවල් දෙකේ එකම වෙලාවක වෙන සිද්ධීන් දෙකට අදාල රූප කණ්ඩ දෙකේදි අර ශබ්ද විකාශන යන්ත්‍රයේ ශබ්දයත් සමාන වෙන්න ඕන...ඒ වගේ රූප කණ්ඩ අතර ශබ්දයන්ගෙන් සම්බන්ධතාවයක් ඇති කරන එක තමයි මේ Audio Match Cut කියන්නේ....


09.Montage Cut 


Montage කියන ප්‍රංශ වච⁣නයේ තේරුම එකතු කිරීම නැත්නම් සංස්කරණය....මේ Montage cut කියන එකේ අදහස තමයි එකට එකක් සම්බන්ධ රූපරාමු එකට එකතු කරලා ඒ අතර සම්බන්ධතාවයක් නැත්නම් අඛණ්ඩතාවයක් ඇති කරන එක...ඒක තමයි ඇත්තටම සංස්කරණය කියන එකෙත් අදහස නේද කියලා හිතෙයි...ඒත් මොන්තාජ් එකේ වෙනස තමයි ලොකු කාලයක් කෙටි කරලා පෙන්නන එක...ඒ කියන්නේ සති ගානක්,මාස ගානක් අවුරුදු ගානක් වුනත් වෙන සිද්ධී කිහිපයක් ඒවා කෙ⁣ටි කාලයකදී එකිනෙක සම්බන්ධ කිරීම....


Up ඇනිමේෂන් ෆිල්ම් එක පටන ගන්න සිද්ධිය මතකද...දෙන්නා ආදරය කරලා වයසට ගිහිං බිරිඳ මියගිහිං සැමියා තනි වෙලා ඉන්නවා පෙන්නන්න කොච්චර පොඩි වෙලාවක්ද ගියේ...ඒ පොඩි වෙලාව ඇතුලත අපිට ලොකු දෙයක් පෙන්නුවා....ඉතිං මේ විදියට ලොකු කාලයක් ගත වන සිද්ධි පෙලක් ⁣කෙටි කාගයකට එකතු කරලා සම්බන්ධකරලා පෙන්නන එක තමයි මේකේදි වෙන්නේ...උදාහරණයක් විදියට ක්‍රිඩා චිත්‍රපට ගත්තොත් ඒවාගේ බහුතරයක් තියෙන්නේ කිසිම සුදානමක් නැති දක්ෂතාවයක් පෙන්නන්නේ නැති කෙනෙක් කණ්ඩායමක් පුහුණු කරලා අන්තිමට එයාලගේ විශිෂ්ඨ හැකියාවක් එළියට ගන්න එක.....ඒක කරන්න අවුරුදු ගානක් යන්න පුළුවන්...ඒත් විනාඩි ගානකින් ඒවා සම්බන්ධ කරලා තියෙන විදිය තමයි මේ මොන්තාජ් ශිල්ප ක්‍රමය යොදාගන්නේ....


10.Shot/Reverse Shot


මේක ඇත්තටම වෙනම හැදින්වුවාට මේක කලින් කතාකරපු 180 ° ශිල්ප ක්‍රමයට සම්බන්ධවත් කතා කලා...දෙන්නෙක් අතර සංවාදයක් යන වෙලාවක දෙබස කියන කෙනාව විතරක් පෙන්නවා වෙනුවට එයා කියන දේට අනිත් කෙනා දක්වන ප්‍රතිචාරය ඒ වෙලාවෙම පෙන්නන එක තමයි මේ Shot/Reverse Shot නැත්නම් Reaction Shot කියන්නේ...කෙනෙක්ගේ දෙබසක් යනකොට එයා දෙබස කියලා ඉවරවෙනකම් ඉඳලා අනිත් කෙනාව පෙන්නවාට වඩා එයා දෙබස කියනගමන් අනිත් කෙනාගේ ප්‍රතිචාරය,හැඟීම් වෙනස් වනවිදිය පෙන්න එකේ තියෙන තාත්වික හා සාර්ථකත්වය නිසා මේ සංස්කරණ ශිල්ප ක්‍රමයත් බහුලව යොදාගන්නවා....



ඉතිං මේ විදියට අපි කතා කලේ ප්‍රධාන වශයෙන් යොදාගන්නා Film Editing Technique නැත්නම් සංස්කරණ ශිල්ප ක්‍රම ගැනයි.....මේවා ටෙකිනික් විදියට හැඳින්වුවත් සමහර ඒවා Transitions විදියටත් හදුන්වන්වනවා..ඉතිං ඊළඟ  ලිපියෙන් Editing Transition වර්ග මොනාවද කියලා අපි කතා කරමු...
සංස්කරණය කියන එකත් පුළුල් විෂය පථයක්...

අද මේ ලිපියේ කතා කරපු දේවල් එක්ක ඔයාලට දෙයක් තේරෙන්න ඇති...ඒ සංස්කරණය කියන්නේ නිකම්ම රූපකණ්ඩ දෙකක් එකට එකතු කරන එක නෙවෙයි...සංස්කරණයේදි පුළුවන් රූප කණ්ඩ අතර සම්බන්ධතාවයක් ඇති කරන්න...ඒක ග්‍රැෆික්,කාලය,අවකාශය වගේම රිද්මය අතර සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්....ඒ සම්බන්ධතාවය ගොඩ නඟන විදිය අනුව චිත්‍රපටයක් කියන දේ අර්ථවත් හා නිර්මාණාත්මක කලාවක් කරන්න පුළුවන්...


                                                 ලිපි නිර්මාණය
                                     - අනුෂ්ක රසාංජන ද සිල්වා-

Post a Comment

0 Comments