2001 : Space Odyssey Movie explanation





                               මම පහුගිය දවස්වල 2001: A Space Odyssey චිත්‍රපටියෙ දකින්න ලැබුනු සුප්‍රකට match cut scene එක ගැන කතාකරපු ලිපියෙදි ගොඩක් දෙනෙක් comment දාලා ඉල්ලපු දෙයක් තමයි film එකේ ending එකේ මොකක් උනාද කියලා හරියටම තේරුනේ නෑ. ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න කියලා. අන්න ඒ නිසා තමයි අද මේ post එක අරගෙන එන්නෙ. එහෙනම් අපි ඉස්සෙල්ලම බලමු ඇයි චිත්‍රපටිය බලපු ගොඩක් දෙනෙක්ට මේ අවසානය නොතේරුනේ කියලා. මම කලිනුත් කිව්වා වගේම Stanley Kubrick මේ චිත්‍රපටිය හදද්දි එයාට උවමනා වෙලා තියෙන්නෙ අනාගත අභ්‍යාවකාශ චාරිකාවක අත්දැකීමක් ප්‍රේක්ෂකයින්ට දෘශ්‍ය ආකාරයෙන් ලබාදෙන්නයි. ඒ කියන්නෙ හරියට ඒ චාරිකාවට අපිත් සම්බන්ධ වෙලා හිටියොත් පේනවා වගේ. ඉතින් මේ චිත්‍රපටියෙ දකින්න ලැබෙන ගොඩක් සිදුවීම් වලට හේතුව පැහැදිලි කිරීමක් දකින්න ලැබෙන්නෙ නෑ. නිකන්ම අපිට ඒක පෙන්නනවා විතරයි. අනිත් පැත්තෙන් Kubrick එක්ක මේකේ කතාව නිර්මාණය කරන්න එකතු උන ලෝකයේ විශිෂ්ඨම විද්‍යා ප්‍රබන්ධකරුවන්ගෙන් කෙනෙක් උන Arthur C Clark ගේ විද්‍යා ප්‍රබන්ධ කියවලා තියෙනව නම් දන්නවා ඇති ඒවල ගොඩක්ම දාර්ශනික කරුණු වගේම Technical කරුනු ගොඩක් ඇතුලත්වෙනවා සහ ඒවා පොත කියවන කෙනෙක්ට උනත් එකපාරටම ඔලුවට දාගෙන තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඉතින් නිකමට හිතන්නකො මේ දෙන්නා එකතුවෙලා හදන ෆිල්ම් එකේ අර පොතේ තියෙන තරම්වත් පැහැදිලිකිරීම් නැතුව ඔහේ සිද්ධි ටික විතරක් පෙන්නනවනම් ඒක බලන මිනිහා අන්තිමට confused unga banga වෙන එක නවත්තන්න සක්කරයටවත් බෑ. හැබැයි Kubrick ට ඒක අදාලත් නෑ. එයා එයාගෙ විදියට ෆිල්ම් එක හැදුවා එච්චරයි. ඉතින් මේ ෆිල්ම් එකේ දකින්න ලැබුනු මුල් සිද්ධි ටික කොහොමහරි තේරුම් ගත්තත් අවසාන ම්නිත්තු කීපයෙදි මොන විකාරයක් උනාද කියලා කාටවත් තේරෙන්න නැතුව ඇති. 2001 පොත බලපු අයට නම් ඒ අවුල නැති වෙන්න ඕන මොකද පොතේ යම් මට්ටමකට මොකක්ද උනේ කියලා විස්තර කරලා තියෙන නිසා. එහෙනම් අපි සරලව බලමුකෝ මේකේ අවසානයට මොකක්ද උනේ කියලා..🤔🤔😌


 අවසානය ගැන කියන්න කලින් සම්පූර්ණ චිත්‍රපටියේ උන දේ ගැනම දල අදහසක් ගන්න ඕන. ඇත්තටම මේ චිත්‍රපටිය පුරාම පෙන්වන්නෙ එක්තරා දියුණු ජීවීන් කොට්ඨාශයක් විසින් පුරාතන ආදි මානව‍යගෙ සිට නූතන මිනිසාගේ තාක්ෂණික දියුණුව දක්වා නිරීක්ෂණය කරමින් මිනිසාට තවදුරටත් පරිණාමයෙ ඉහල පඩිවලට ලඟාවන්නට උදවු කරමින් සිදුකරන එක්තරා පර්යේශණයක් වගේ දෙයක් ගැනයි. ඔවුන් තමන්ගේ තමන්ගේ පර්යේෂණය ආරම්භ කරන්නෙ ඊට පෙර ජීවත් උන යෝධ උරගයන් නැසී ගිහින් ඒ වනවිට යම් මට්ටමක දියුණුවක් ලබාගෙන තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න සමත් උන වානර කොට්ඨාශයකිනුයි.ඒ තමයි පලමු පියවර. මම කලින් සඳහන් කල ජීවීන් මුලින්ම කරන්නෙ අර අදාල වානර රංචුව ගැවසෙන මහපොලවෙ එක්තරා ස්ථානයකත් අනිත් පැත්තෙන් ඊට සැතපුම් මිලියන ගණනක් දුරින් ඇති සඳෙහිත් එකම ආකාරයේ Monolith එහෙමත් නැත්නම් අපි චිත්‍රපටියෙදි දුටු ආකාරගේ කලු ස්ථම්භ දෙකක් තැන්පත් කරනවා. මේ කලු ස්ථම්භ කියන්නෙ එක්තරා ආකාරයකට තනිව හිතන්න, ස්වයං තීරණ ගන්න පුලුවන් Super computers කියලත් හිතන්න පුලුවන්. කොහොමහරි තමන්ගේ පරික්ෂණයට අවශ්‍ය ද්‍රව්‍ය(Monolith) සහ පරීක්ෂණ වස්තු ටික ( වානරයො ) සූදානම් උනාට පස්සෙ මේ ජීවීන් පිරිස ඉතුරු වැඩටික Monolith එකට බාරදීලා පිටවෙලා යනවා. සමහරවිට ඔවුන් මේ වගේම තවත් පර්යේශණයක් වෙනුවෙන් පිටත්වෙලා යන්න ඇති. කොහොමහරි මෙතනදි Monolith එක මගින් එහි නිර්මාපකයින්ට උවමනා උන ආකාරයටම වානරයින්ගේ සිතුම් පැතුම් වෙනස් කරමින් මානව පරිණාමයේ පලමු පියවර තියනවා. එතනින් ඒ පලමු Monolith එකේ රාජකාරිය අවසානයි. ඊලඟට චිත්‍රපටිය ක්ශණිකව ගමන්කරනවා ඊලඟ කොටසට. ඒක පෙන්නන්නෙ අර මම කිව්ව match cut එකෙන්. ඉතින් ඒ වෙද්දි පර්යේශණයේ පලමු පියවර සාර්ථක වෙලා මිනිසුන් ඉතාම දියුණු ජාතියක් විදියට පරිණාමය වෙලා අභ්‍යාවකාශයටත් ගිහින්. ඔන්න ඒ වෙලාවෙදි තමයි සඳේ තිබිලා දෙවෙනි Monolith එක හම්බෙන්නෙ. මේකේ රාජකාරිය නම් අර පලවෙනි එකට වඩා වෙනස් එකක්. පලවෙනි එකෙන් පරිණාමය ආරම්භ කලා වගේම මේකෙන් කරන්නෙ මිනිසා මහපොලොව මත පරිණාමය වෙලා පසුව අභ්‍යාවකාශය ජයගන්නා මට්ටමකට පරිණාමය වූ බව එහි නිර්මාපකයන් උන අර දියුණු ජීවීන්ට දැන්වීම. ඒ කියන්නෙ දැන් දෙවෙනි පියවරටත් සාර්ථකව ලඟා උන පර්යේශණයේ තුන්වෙනි පියවරත් සූදානම් කලයුතු බව දැන්වීම. ඒක තමයි Dr. Heywood R. Floyd විසින් Monolith එක ස්පර්ශ කරලා ටික වෙලාවකට පසුව අතිධ්වනී හඬක් නිකුත් වීමක් වගේ සිද්ධවෙන්නෙ. එවෙලේ ඒ යන්නෙ අර ජීවීන්ට සංඥාවක්. ඉතින් දැන් දෙවෙනි පියවරත් සාර්ථකයි. ඔන්න ඊලඟට තමයි මේ පර්යේශණයේ තුන්වෙනි සහ අවසාන පියවර වෙත ලඟාවෙන්නෙ. හැබැයි ඊට කලින් මම් මේ කියපු Monolith එහෙමත් නැත්නම් කලු ස්ථම්භ කියන වස්තූන් Stanley Kubrick විසින් අර්ථ නිරූපණය කලේ කොහොමද කියලා කියලම ඉන්නම්.


මෙතනදි Arthur C Clark සහ Stanley Kubrick ට මේ කලු ස්ථම්භ වලින් දක්වන්න ඕන වෙලා තියෙන්නෙ දෙවියන්වයි. නමුත් ඒ සමස්ථ ලෝකයේම පවතින, විශ්වාස කරන දේව සංකල්පයට පරිබාහිරව. දෙවියෝ මනුශ්‍යයාට ජීවය දීලා සියල්ලම මවනු ලැබුවා කියන සංකල්පය යම් තරමකට වෙනසකට බඳුන්කරලා ප්‍රායෝගිකව වියහැකි මට්ටමකට ගේන්න මේ දෙන්නට උවමනා උනා. ඒකේ අවසාන ප්‍රතිපලය තමයි මේ Monolith එක එහෙමත් නැත්නම් කලු ස්ථම්භය කියන්නෙ. ඒ අනුව දෙවියන් මනුශ්‍යයාව මැවුවා වගේම Monolith එක මගින් වානරයාගෙන් මනුශ්‍ය වර්ගයාව බිහිකරා. ඉන්පසුව අවස්ථාවකත් මේ God කියන සංකල්පය Monolith එකට ආදේශවෙන එක්තරා අවස්ථාවක් දකින්න ලැබෙනවා. ඒ ගැන මම අවසානය ගැන විස්තර කරද්දිම කියන්නම්කො. කොහොම උනත් තමන්ගේ මේ චිත්‍රපටියෙන් නිරූපණය කරන්න උවමනා උන සංකල්පය ගැන Stanley Kubrick කියලා තියෙන්නෙ මෙහෙමයි.


"I will say that the God concept is at the heart of 2001 but not any traditional, anthropomorphic image of God. I don't believe in any of Earth's monotheistic religions, but I do believe that one can construct an intriguing scientific definition of God, once you accept the fact that there are approximately 100 billion stars in our galaxy alone, that each star is a life-giving sun and that there are approximately 100 billion galaxies in just the visible universe. Given a planet in a stable orbit, not too hot and not too cold, and given a few billion years of chance chemical reactions created by the interaction of a sun's energy on the planet's chemicals,"


ඊලඟට අපි අවසාන කොටසට ගියොත් ඒකෙදි Dave Bowman විසින් තමන්ගේ පැවැත්ම තකා සියලුම මනුශ්‍යයින්ව මැරීමට තැත්කල (ඇත්තටම යන කට්ටියගෙන් Dave විතරයි ඉතුරු වෙන්නෙ) HAL කියන කෘත්‍රීම බුද්ධිය ඇති සුපිරි පරිගණකය සාර්ථකව අක්‍රීය කරලා යන්තම් පණ බේරගෙන බ්‍රහස්පති වෙත ලඟාවෙනවා. ඒ අනුව අවසානයෙදි එහි තිබෙන Star Gate එක හරහා ගමන්කරන ඔහු එනවා එක්තරා ස්ථානයකට. මෙතනදි තුන්වෙනි Monolith එක මගින් සිදුකරන්නෙ පර්යේශණයේ තුන්වෙනි මට්ටමේ අවසානය දක්වා Dave කියන පර්යේශණ වස්තුව රැගෙන යාම. අන්න ඒ රැගෙන යන Star Gate එක තමයි අපි වර්ණ රාශියක් අපි දිහාට වේගයෙන් එනවා වගේ දකින්නෙ. මේ Special effect එක සරල දෙයක් වගේ පෙනුනට ඒකාලේ ඒක හදන්න පුදුම විදියට මහන්සිවෙලා තියෙනවා. මොකද අමතක කරන්න නරකයි මේ සිනමාපටය නිර්මාණය උනේ 1968 කියන කාරණාව. කොහොම හරි මෙතනදිත් අපිට අපූරු සංකේත භාවිතාවක් දකින්න ලැබෙනවා. මෙතන ඉදන් Kubrick සම්පූර්ණයෙන්ම Symbolization කියන දෙයින් මාරම ගේමක් ගහනවා. අපි Star Gate sequence එක හොඳට බැලුවොත් ඒකෙදි අපිට පෙන්වනවා ඩිම්බයක් කරා ශුක්‍රාණුවක් ගමන්කරනවා වගේ දර්ශනයක්. හොඳට බැලුවනම් ඒක නෝට් වෙයි. ඒවගේම පොඩ්ඩක් Dave Bowman ගේ යානයේ හැඩය බැලුවොත් ඒකත් හරියට ශුක්‍රාණුවක හැඩයට සමානයි නේද. විශාල රවුම් හිස සහ සිහින් වලිගට කියන හැඩයන් ඒකෙදිත් අපිට දැකබලා ගන්න පුලුවන්. ඉතින් මේකෙන් මොකක්ද මේ මනුස්සයා අර්ථ දක්වන්න උත්සාහ කරලා තියෙන්නෙ. ඔව් ඒ තමයි මනුශ්‍ය වර්ගයාගේ ඊලඟ උපත. එහෙමත් නැත්නම් මනුශ්‍ය වර්ගයා මනුශ්‍ය ස්වභාවයෙන් මිදිලා ඊලඟ දිව්‍යමය ජීවියෙක් වී උත්පත්තිය ලැබීම. ඉතින් මේ විදියට ගමන්කරන Bowman අවසානයෙදි ලඟාවෙන්නෙ හිතපුවත් නැති තැනකට. ඒ තමයි සියලුම සැපපහසුකම්වලින් පිරුණු කාමරයක්. ඇත්තටම මෙහෙම දෙයක් උනේ කොහොමද කියලා හිතුනා නේද. ඇත්තම කතාව කිව්වොත් ඒක කාමරයක් කියනවට වඩා එක්තරා ආකාරයක පර්යේශණ වස්තු නිරීක්ෂණය කරන්න පුලුවන් මධ්‍යස්ථානයක් කිව්වොත් හරි. Kubrick ගේ වචන වලින්ම කිව්වොත් Human Zoo එකක්. මේකෙදි සිද්ධවෙන දේවල් ඔක්කොම වගේ සාමාන්‍ය මනුශ්‍ය හැකියාවන් වලට බොහෝ එපිටින් ඉන්න මම මුලින් කියපු ජීවීන් විසින් සිදුකරන දේවල්. ඒ අනුව ඔවුන් විසින් පදාර්ථය සිතූ පරිදි වෙනස්කම්වලට බඳුන් කරල එම කාලයේ ජනප්‍රිය මෝස්තරයේ සියලුම අංගෝපාංග වලින් සමන්විත සුඛෝපභෝගී නිදන කාමරයක් තමන්ගේ පර්යේශණ වස්තුව වෙනුවෙන් නිර්මාණය කරලා දෙනවා. ඒ වගේම මේකේ ඉන්න පර්යේශණ වස්තුව උන Bowman ට තමන්ව වේගයෙන් වයසට යන ආකාරය පේනවා. ඇත්තටම ඔහුව නිර්ක්ෂණය කරන්නන් කාලයට එපිටින් සිටින ජීවීන් වීම නිසා ඔවුන් කාලය සිතූ පරිද්දෙන් ගලා යාමට සලස්වනවා. සිනමාපටය බලන අපිට වගේම Bowman ටත් කිසිම අදහසක් නෑ මොකක්ද මේ වෙන්නෙ කියලා. කොහොම නමුත් තරමක් තරුණ Bowman දකිනවා තමන්ගේ වැඩිහිටි ස්වරූපය සහ එම වැඩිහිටි Bowman දකිනවා මහලු වෙලා සිටින තමගේම ස්වරූපය. මේකෙන් සංකේතවත් කරන්නෙ සමස්ථ මනුශ්‍ය වර්ගයාම ඉපදීමේ සිට කාලය ගතවෙත්ම ක්‍රමයෙන් වයසට ගොස් මියයාමේ චක්‍රය. ඊට පෙර කෑම ගනිමින් සිටින මහලු Bowman අතින් වයින් පිරුණු වීදුරුවක් බිම අතහැරී එය බිඳී යනවා. මෙහි වයින් වීදුරුවෙන් වියැකී විනාශවී යන මනුශ්‍ය ශරීරයත් ඉහිරුණු පසුවත් විසිරී ගියද විනාශ නොවූ එහි තිබූ වයින් වලින් මිනිස් සිරුර මියගියද සෑමදාම නොනැසී පවතින ආත්මය සංකේතවත් වෙනවා. පසුව Bowman ඒ චක්‍රයේ අවසාන පියවර වෙත ලඟාවෙනවා. මරණාසන්න අවස්ථාව. එහිදිී තමයි මේ සිනමාපටයේ දකින්න ලැබෙන සිවුවන වගේම අවසාන Monolith එක දකින් න ලැබෙන්නෙ. ඒවගේම මම කලින් විස්තර නොකර පස්සට තියපු සංකේත භාවිතය දකින්න ලැබෙන්නෙත් මෙතනදි. දැන් හොඳට ඒ අවස්ථාවෙ මරණාසන්න අවස්ථාව් සිටින Bowman ගේ ඉරියවු සහ සුප්‍රකට කලාකරු මයිකල් ආන්ජෙලෝ ගේ The Creation of Adam චිත්‍රය සංසන්ධනය කලොත් අපිට Bowman ව චිත්‍රයේ ආදම් විදියටත් Monolith එක දෙවියන් වහන්සේ විදියටත් සංකේතවත් වෙන ආකාරය වටහාගන්න පුලුවන්. මේ අවස්ථාවෙදි Bowman තමන්ගේ අත් තියාගෙන ඉන්න ඉරියවුවත් ආදම් දෙවියන්වහන්සේ වෙත තම හස්තය දිගුකරගෙන සිටින ඉරියවුවට සමානයි. කොහොමද Kubrick ගේ Symbols..😎😎 පිස්සු හැදෙනවා නේද. ඔන්න ඔහොමයි එයා අවසානයෙදිත් Monolith එක දෙවියන්වහන්සේට සමාන කලේ. ඉන්පසුව මනුශ්‍යයෙක් විදියට Bowman මියයනවා. ඔහු යලි එම මොහොතේම ඔහුව මේ දක්වා රැගෙන විත් නිරීක්ෂණය කරමින් සිටි ජීවීන්ගෙන් කෙනෙක් බවට පත්වෙලා යලි උත්පත්තිය ලබනවා. ඒ Star Child කෙනෙක් එහෙමත් නැත්නම් තාරකා දරුවෙක් විදියට. මේ බලගතු ජීවීන් කාලාවකාශයට එපිටින් සිටින සර්ව බලධාරී ජීවීන් පිරිසක්. Kubrick මෙයාලව විස්තර කරන්නෙ මෙහෙම,


"god-like entities, creatures of pure energy and intelligence with no shape or form."


ඉතින් සිතනා පරක්කුවෙන් ඕනම දෙයක් සිදුකලහැකි බලවත් ජීවීන් උනත් ඔවුන්ගේ දැනුම මට්ටමේ උසස් බව නිසාවෙන්ම ඔවුන් විනාශකාරී දේවල් වලට පෙලඹෙන්නෙ නෑ. දැන් මේ ජීවීන් අතරට එකතු උන නව තාරකා දරුවා උන Dave Bowman තමන්ගේ මවු ග්‍රහලොව උන පෘතිවිය කරා ක්ෂණිකව ගමන්කරනවා. ඒවගේම ඉන්පසුව ඔහු ඒ දිහා බලන් ඉදීමෙන් පෙන්වන්නෙ ඔහු වගේම අනිත් මනුශ්‍ය වර්ගයාත් විනාශකාරී මාර්ගයෙන් මුදාගෙන තමන් හා සමාන මට්ටමකට ලඟාවන්නට මගපෙන්වන්නට ඔහු සූදානම් බවයි. එතනින් මේ අතිවිශිෂ්ඨ විද්‍යා ප්‍රබන්ධ සිනමාපටය නිමාවෙනවා. ඇත්තටම මේක වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යුගයට එපිටින් බිහිවූ නිර්මාණයක් කියන්න පුලුවන්. ඉතින් ඉල්ලපු විදියටම ඔන්න ඕක තමයි සරලවම 2001: A Space Odyssey හි කතාව. ඉතින් අවසානයට කලින් තව පොඩි දෙයක් කියන්න ඕන. සමහර අයට හිතෙනවා ඇති ඇයි මේ නන්නාදුනන මනුශ්‍යයෙක් උන Bowman ට ම මේ දිව්‍යමය ජීවීන් තමන් හා සමාන ආකාර‍යේ බලයක් ලබාදුන්නෙ කියලා. ඇත්තටම ඒකට කියන්න තියෙන්නෙ අභ්‍යාවකාශය ජයගෙන දෙවෙනි සුදුසුකමත් සපුරාගෙන ඉදපු මනුශ්‍ය වර්ගයාව නියෝජනය කරමින් පැමිණි අභ්‍යාවකාශගාමීන් පිරිසෙන් තමා විසින්ම(මේ කියන්නෙ මිනිසුන් විසින් කියන දේ) නිර්මාණය කල කෘත්‍රීම බුද්ධිය උන HAL අයහපත් මාර්ගයේ ගමන් කරද්දි එය අවබෝධකරගෙන HAL ව අක්‍රීය කරන්න සමත් උනේ Dave Bowman. ඒකෙන් එයා තමන් විසින් ජීවය දුන්න ඕනම නිර්මාණයක් විනාශකාරී මට්ටමකට ලඟාවෙනව නම් සියල්ලන්ගේම යහපත තකා එය විනාශ කිරීමට පසුබට නොවන කෙනෙක් බව පෙන්නුවා. ඒකෙන් ස්වභාවයෙන්ම දෙවිවරුන්, නිර්මාපකයන් උන බලසම්පන්න ජීවියෙක් වෙන්න තමන්ටත් සුදුසුකම් තියෙන බව Bowman ඔප්පු කරලා පෙන්නුවා. අන්න ඒ නිසයි අවසානයේදි ඔහුවත් Star Child කෙනෙක් බවට පත්කරන්න පියවර ගත්තේ. ඉතින් ඔන්න ඕකයි කතාව.


එහෙනම් මේක බලලා තේරුනේ නැති නිසා මේක කම්මැලි, වැඩක් නැති, තේරුමක් නැති නිර්මාණයක් විදියට හිතන් හිටපු කෙනෙක් නම් මේ සටහනෙන් ඒ අදහස සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි කියලා හිතනවා. ඇත්තටම මේ වගේ ගැඹුරු සංකල්පයක් නිවැරදිව හසුරුවලා ඒක තාත්වික සිනමාපටයක් බවට පත්කිරීමේ අති විශිෂ්ඨ දක්ශකම හේතුවෙන් සිනමා රසිකයින් විදියට අපි Stanley Kubrick සහ Arthur C Clark දෙපලට ගොඩක් ස්තූතිවන්ත වෙන්න ඕන. එහෙනම් කෙටියෙන් අවසන් කරන්න හිතන් පටන්ගනිපු සටහනක් තරමක් දිගු සටහනක් වෙලයි අවසානයෙදි නතර උනේ. එහෙනම් මෙතනින් මේ සටහන අවසාන්කරනවා. දිගටම Page එකත් එක්ක එකතුවෙලා ඉන්න. සිනමාලෝලී සියලුම දෙනාට ජයවේවා !!


 -ප්‍රගීත් ෂාන් -

Post a Comment

0 Comments