𝗔𝗸𝗶𝗿𝗮 𝗞𝘂𝗿𝗼𝘀𝗮𝘄𝗮






සිනමාව කියන මහා සාගරය තරණය කරපු පතාක රුවල් නෞකාවක් විදියට අද අධ්‍යක්ෂකාවලෝකනයෙන් කතා කරන සිනමා අධ්‍යක්ෂකවරයා හදුන්වන්න පුළුවන්...ඒ ජපන් සිනමාවට මුළු ලෝකයේම අවධානය, ආකර්ෂණය අරන් දෙන්න සමත් වුණ ජපන් සිනමාවේ මහා සිනමා නිර්මාණකරු වු අකිරා කුරොසාවයි....


අකිරා කුරොසාවා ගැන අද සටහන අරන් එන්න කලින්ම හිතුවාත් අහම්බයෙන් හොයාලා බලනකොට තමයි දැනගත්තේ අද වගේ දවසක ඒ කියන්නේ 1998 සැප්තැම්බර් 06 වෙනිදා වගේ දවසක තමයි අකිරා කුරොසාවා සිය ජීවිතයෙන් සමු අරගෙන තියෙන්නේ කියලා....


කුරොසාවාගේ කියන්නේ අදටත් චිත්‍රපට ⁣ නිර්මාණකරුවන් සිය සිනමා ආභාෂය ලබාගන්න සිනමාවේ තව එක පහන් කණුවක් විදියටත් හදුන්වන්න පුළුවන්...රෝමන් පොලන්ස්කි කියලා තියෙන විදියට ඔහුගේ සිනමා ජීවිතයට ලොකුම ආභාෂය ලැබුණ සිනමා අධ්‍යක්ෂකවරු තිදෙනාගෙන් කෙනෙක් විදියට පොලන්ස්කි අකිරා කුරොසාවා සඳහන් කරනවා...ඉග්මාර් බර්ග්මන්, ස්ටැන්ලි කූබ්‍රික් ,ෆෙඩ්රිකො ෆෙලිනි ,බර්නාර්ඩො බර්ටලුචි , සත්‍යජිත් රායි  පවා කුරොසාවා යනු සිනමාවේ දැවැන්තයෙක් විදියට හදුන්වලා දීලා තියෙන්නේ කුරොසාවා ජපානය විතරක් නෙවෙයි ලෝක සිනමාවම ආක්‍රමණය කල විශිෂ්ඨතමයෙක් කියන එක  තව තවත් ඔප්පු කරමින්...



අකිරා කුරොසාවාගේ Seven Samurai චිත්‍රපටය හොලිවුඩ් චිත්‍රපට වලට පවා ආභාෂය අරන් තියෙන තවත් එක් කුරොසාවගේ විශිෂ්ඨ චිත්‍රපටයක් විදියට හදුන්වන්න පුළුවන්...ඒ වගේම කුරොසාවාගේ  The Hidden Fortress කියන්නේ ජෝර්ජ් ලුකාස්ගේ 'ස්ටාර් වෝර්ස්' චිත්‍රපට මාලාවට ප්‍රබල ආභාෂයක් ලැබිලා තියෙන චිත්‍රපටයකුත් වෙනවා...


කුරොසාවා 1950 දී අධ්‍යක්ෂණය කරන Rashomon කියන්නේ ජපන් සිනමාව ජාත්‍යන්තරයට අරන් ගිය ලෝක සිනමාවේ විශිෂ්ඨතම සිනමා නිර්මාණයක් විදියට හදුන්වන්න පුළුවන්....ඇකඩමි සම්මාන උළලේ ඇකඩමි ගෞරව සම්මානයත් වැනිස් අන්තර්ජාතික සිනමා සම්මාන උළලේදි සම්මාන කිහිපයක්ද දිනාගත්ත මේ චිත්‍රපටයේ තවත් එක විශේෂත්වයක් වෙන්නේ ඉර නැත්නම් සූර්යයාව කැමරාවට අසුකරගත් පළමු අධ්‍යක්ෂකවරයා කුරොසාවා විදියට ඉතිහාස ගත වීමයි...






Rashomon චිත්‍රපටය සර්වකාලීන කතා තේමාවක් විදියට සලකන්න පුළුවන්....  Rashomon Effect නැත්නම් යම් සිද්ධියක් සම්බන්ධව විවිධ පුද්ගලයන් දක්වන පරස්පරවිරෝධි අර්ථකථන හෝ විස්තර ගැන සම්බන්ධ ආචරණයක් මේ චිත්‍රපටයෙන් පසුව බිහිවෙන්නේ කලින් කියපු ඒ සර්වකාලීන බවට හොඳම සාක්ෂිය විදියටයි....


කුරාසාවාගේ සිනමා ශෛලිය ගැන කතා කලොත් ඔහු, ඔහුගේ චිත්‍රපටවල තිරරචනයේ සිට සංස්කරණය දක්වා ඔහු ඍජුවම සම්බන්ධ වෙලා කටයුතු කරපු කෙනෙක්.....ඔහුගේ චිත්‍රපට බොහොමයක ඔහුම තමයි සංස්කරණය පවා සිදු කරලා තියෙන්නේ...කුරොසාවාගේ චිත්‍රපට වල රූපරාමු අතර මාරු වීම් වලදි බහුලව අපිට දකින්න පුළුවන් දෙයක් තමයි Axial Cut නැත්නම් කැමරාව රේඛාවක් ඔස්සේ හසුරවලා කරන Jump Cut නැත්නම් පැන්නුම් කැපුම් විශේෂය....මේකෙදි අපිට දකින්න පුළුවන් වෙන්නේ එක රූප රාමුවකින් අනිත් එකට කැමරාව එක්වරම වස්තුවෙන් ඉදිරියට පසුපසට ගමන් කරන ආකාරයක්...


කුරොසාවාගේ චිත්‍රපට වල රූප රාමු හරියට චිත්‍රයක් වගේ කියන්න පුළුවන්...ඔහුගේ චිත්‍රපට වල වල ආලෝකකරණය හසුරන විදිය වගේම වර්ණ චිත්‍රපට වල වර්ණ භාවිතය පවා ඔහුගෙ ඒ චිත්‍ර සිතුවම් වගේ රූපරාමු මවන්න සමත් වෙනවා...ඒ ⁣ඇත්තට ඔහු චිත්‍ර වලට දැඩි ඇල්මක් කැමැත්තක් දක්වන නිසා කියලාත් අපිට කියන්න පුළුවන්...ඒ වගේම කුරොසාවාගේ Throne of Blood, Ran චිත්‍රපට වලට පාදක වෙන්නේ ශේක්ස්පියර්ගේ කලාකෘති...කුරොසාවාගේ නිර්මාණ වල නාට්‍යමය ගුණය වගේම ඒ විදියට ශේක්ස්පියර්ගේ කලාකෘති  පාදක කරගෙන නිර්මාණ බිහිවෙන්නේ කුරොසාවා ෂේ්ක්ස්පියර් නම් ආගමේ දැඩි බැතිමතෙක් නිසාම වෙනවා....


මේ වගේ කෙටි සටහනක් කොහෙත්ම ප්‍රමාණවත් නොවෙන ලෝක සිනමාවේ දැවැන්ත සිනමා අධ්‍යක්ෂක පෞරුෂයක් වු අකිරා කුරොසාවා නාමය සිනමාව පවතින තුරු නොමැකෙන සලකුණක් වනවා නොඅනුමානයි....


                                සිනමා තක්සලාව වෙනුවෙන් 
                                   -අනුෂ්ක රසාංජන ද සිල්වා-

Post a Comment

0 Comments