ගියවර ලිපියෙන් අපි කතා කලා කොහොමද Shot List එක හදාගන්නේ කියලා...අද අපි කතා කරන්න යන්නේ මොකද්ද Storyboard එක වගේම Storyboard එකක් හරියට හදාගන්නේ කියලා.
අධ්‍යක්ෂකවරයා හා කැමරා අධ්‍යක්ෂකවරයා එකතු වෙලා Shot List එක හදාගත්තට පස්සේ ඒකේ ලියාගන්න ෂොට් විෂුවලි කොළයකට ගන්න එක තමයි Story Board එකෙන් කරන්නේ.මේක හරියට ෆිල්ම් එකක් හරි වීඩියෝ එකක් හරි කරන්න කලින් කරන ට්‍රයල් එකක් වගේ වැඩක්.අපි අවසානයේ තිරයෙන් දකින දේ ගැන අදහස දළ සටහනක් විදියට අදින මුලින්ම ඇඳලා තියාගන්න Storyboard එක ගැන මුල ඉඳන් අපි කතා කරමු.
Story Board එක මුලින්ම නිර්මාණය වෙන්නේ සිනමාව ආරම්භ වුණු කාල වකවානුවේදීමයි.මුලින්ම ජෝර්ජ් මෙලියස් විසින් චිත්‍රපට නිර්මාණය කිරීමට කටු සටහන් යොදාගෙන තියෙනවා.අද චිත්‍රපට වෙනුවෙන් නිර්මාණය වෙන සුලභ ස්ටෝරි බෝඩ් අකෘතිය මුලින්ම නිර්මාණය වෙන්නේ ඩිස්නි සමාගමේ නිර්මාතෘ වෝල්ඩ් ඩිස්නි අතින්..ඔහු ඇනිමේෂන් චිත්‍රපට සඳහා නිර්මාණය කරන ස්ටෝරිබෝඩ් ක්‍රියාවලිය ඇන්මේෂන් චිත්‍රපට වලින් චිත්‍රපට පූර්ව නිෂ්පාදන ක්‍රියාවලියට එකතු වෙනවා..
පළමුවරට සම්පූර්ණයෙන් ස්ටොර්බෝඩ් යොදාගත්ත ලයිව් ඇක්ෂන් චිත්‍රපටය 1939 නිකුත් වු Gone with the Wind චිත්‍රපටය වෙනවා..ඒ විදියට 40 දශකයෙන් පසුව අද වනතුරු ඇනිමේෂන් චිත්‍රපට මෙන්ම ලයිව් ඇක්ෂන් චිත්‍රපට නිර්මාණකරණයේදි පහසුව හා කාර්යක්ෂමතාවය සඳහා පූර්ව නිෂ්පාදන අවධියේදි ස්ටෝරි බෝඩ් එක නිර්මාණය කරගැනීමට ලොකු අවධානයක් යොමු කර තිබෙනවා..
StoryBoard එක කියන්නේ මොකද්ද?
චිත්‍රපටයක හෝ වීඩියෝ පටයක අවසානයේ දකින රූපරාමු වල, වෙන වෙනම අඳිනු ලබන දළ සටහන් එකතුව කතා පුවරුව නැත්නම් Storyboard නම් වෙයි.
StoryBoard එක ඇයි වැදගත් වෙන්නේ?
ස්ක්‍රිප්ට් එකේ තියෙන කතාව රූප විදියට මුලින්ම අරගෙන එන පූර්ව සවිස්තරාත්මක සටහනක් විදියට ස්ටෝරි බෝඩ් එක අපිට නිෂ්පාදන සැලසුමක් විදියටත් වැදගත් වෙනවා...
ඒ වගේම අධ්‍යක්ෂකවරයා හා කැමරා අධ්‍යක්ෂකවරයාගේ රූප රාමු වල දළ සැකැස්ම විදියට නිර්මාණය වෙන Storyboard එක හරහා ඔවුන්ගේ නිර්මාණශීලිත්වය එළියට අරගෙන වඩාත් හොඳින් තව තවත් රූප රාමු සැලසුම් කරලා සංවිධානය කරගන්න හොද අවස්ථාවක් විදියටත් මේ ක්‍රියාවලිය වැදගත් වෙනවා.
ස්ටෝරි බෝඩ් එක නිර්මාණය කරන්නේ කවුද?.
අධ්‍යක්ෂකවරයාගේ හා කැමරා අධ්‍යක්ෂක නැත්නම් සිනමැටෝග්‍රැෆිකරණ ශිල්පියාගේ දැක්ම ස්ටෝරිබොඩ් එකක් විදියට අධ්‍යක්ෂකවරයා නිර්මාණය කරන අවස්ථා තියෙනවා.අකිරා කුරොසාව,වෙස් ඇන්ඩර්සන් වැනි චිත්‍ර කලාවට දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරුන් ඔවුන්ගේ චිත්‍රපට වල ස්ටෝරිබෝඩ් ඔවුන් විසින්ම නිර්මාණය කරගෙන තිබෙනවා.
නමුත් සමහර අධ්‍යක්ෂකවරුන් මේ ක්‍රියාවලියට Story Board Artist කෙනෙක් සම්බන්ධ කරගන්නවා..මාර්ටින් ස්නෝසේසි ස්ටෝරිබෝඩ් නිර්මාණය කරගන්න ඒ වගේ වෘත්තීමය හැකියාවක් තියෙන නිර්මාණකරුවන් යොදා ගන්නවා.
ස්ටෝරිබෝඩ් නිර්මාණය කිරීම අධ්‍යක්ෂකවරයාගෙ කැමැත්ත මත සිද්ධ වෙන දෙයක්. හොලිවුඩ් සිනමාවේ ක්‍රිස්ටෝපර් නොලන් ස්ටෝරි බෝඩ් නිර්මාණය නොකරනවා වගේම ස්ටීවන් ස්පිල්බර්ග් සියළුම දර්ශන සඳහා ස්ටෝරි බෝඩ් එක නිර්මාණය කරනවා.ඉතිං ස්ටෝරිබෝඩ් එක කියන්නේ අනිවාර්යෙන් අත්‍යවශ්‍යම දෙයක් කියලා සම්මතයක් හෝ රීතියක් නැහැ වගේම කලින් කිව්වා වගේම ඒක අධ්‍යක්ෂක හා කැමරා අධ්‍යක්ෂකගේ කැමැත්ත හා වුවමනාව අනුව සිද්ධ වෙන ක්‍රියාවලියක්
සාර්ථකව Story Board එකක් හදාගන්න පුළුවන් පියවර ගැන අපි දැන් බලමු...
01.Shot List එක සැකසීම
ෂොට් ලිස්ට් එකෙදි අදාල දර්ශන වෙන වෙනම ෂොට් විදියට වෙන් කරගත්තාට පස්සේ අධ්‍යක්ෂකවරයාට වගේම කැමරා අධ්‍යක්ෂකවරයාට අදහසක් තියෙනවා ෂොට් ඇතුලේ කැමරාව හසුරවන විදිය වගේම රූපරාමු සකස් කරගන්නේ කොහොමද කියන එක ගැන.
අධ්‍යක්ෂකවරයා හා කැමරා අධ්‍යක්ෂකවරයාගේ දැක්ම ස්ටෝරිබෝඩ් එකක් විදියට නිර්මාණය වුනා හෝ නොවුනා හැම චිත්‍රපටයක්ම නිර්මාණකරණයේදි ෂොට් ලිස්ට් එකක් අනිවාර්යෙන් නිර්මාණය වෙනවා.ස්ටෝරි බෝඩ් එකක් නිර්මාණය කරගන්න අවස්ථා වලදී ඒක නිර්මාණය කරන්නේ ෂොට් ලිස්ට් එකට එකතු කල දත්ත සමඟ වෙනවා. ඒ නිසා ෂොට් ලිස්ට් එක ස්ටෝරිබෝඩ් එකට කලින් අත්‍යාවශ්‍යම දෙයක් විදියට හදුන්වන්න පුළුවන්.
02.කටු සටහන් ඇඳීම
ෂොට් ලිස්ට් එකෙන් පස්සේ අදාල දර්ශනයට අදාල කැමරා ෂොට් මොනවද කැමරා මූවුමන්ට් මොනවාද කියලා වෙන් කරගත්තාට පස්සේ මේක දළ සටහනකට ගන්නවා.එ් දළ සටහන ස්ටෝරිබෝඩ් එකේ කොමික් කතා පොත් වල ඇදලා තියෙන විදියට කොටු ඇතුලේ දළ කටු සටහන ඇඳගන්නවා.ඊට පස්සේ සාමාන්‍යයෙන් චිත්‍රපට නිෂ්පාදනයේදි බොහෝ අවස්ථා වලදී මේ කටු සටහන වෙනම අවසන් ස්ටෝරිබෝඩ් එකක් විදියට චිත්‍රණය කරගන්නවා.
මේ අඳින සටහනේ මුලින්ම චරිතය නැත්නම් ප්‍රධාන වස්තුව අැඳගන්නවා.ඊටත් පස්සේ තමයි කටුවට පසුබිම හා අනිත් වැදගත් දේවල් ඇඳගන්නේ.වැදගත්ම දේ ස්ටෝරිබෝඩ් එකක් කියන්නේ අත්‍යාවශ්‍යම තොරතුරු එකතු කරපු සරල සටහනක් පමණයි.
03.විස්තර ඇතුළත් කිරීම
ඊළඟ පියවර වෙන්නේ දැන් ඇඳගත්ත ස්ටෝරි බෝඩ් එකේ චරිත චලනය වෙන විදිය කැමරාව චලනය වෙන විදිය වගේම ෂොට් එකේ අංකය වගේ විස්තර ඇතුළත් කරගන්න එකයි.
🔸මුලින්ම චරිතය චලනය වෙන විදිය පෙන්වන්න ඊතල පාවිච්චි කරනවා.චලනය වෙන දිශාව ඊතල හිසෙන් නිරූපණය කරගන්නවා.මේ ඊතලය යොදන්නේ පැනල් එක නැත්නම් කොටුව ඇතුලෙන් වෙනවා.
මීළඟට කැමරාව චලනය වෙන විදිය දැක්වීම තමයි වැදගත් පියවර වෙන්නේ.
🔸කැමරා ෂොට්ස් ,කැමරා මූවුමන්ට් හා කැමරා උපකරණ මොනවාද කියන එක ස්ටොරිබෝඩ් එකේ අදාල පැනල් එක යටින් හෝ පැත්තෙන් ලේබල් විදියට සඳහන් කරගන්නවා.
නමුත් කැමරා මුවූමන්ට්ස් ඊතල වලින් දක්වන්න පුළුවන්.මේ ඊතල යොදන්නේ පැනල් එක නැත්නම් කොටුව පිට සිට ඇතුලට වෙනවා.. Pan ,Pushing in, Pushing out ඊතල වලින් පැනල් එකේ දක්වන විදිය ගැන කමෙන්ට් වල පළ කරන්නම්.
🔸දැන් වඩාත්ම සැලකිලිමත් විය යුතු කාර්යය තමයි ෂොට් අංකය දක්වන එක.මේකෙදී සමහරවිට එකම ෂොට් එකට ස්ටෝරිබෝඩ් එකේ පැනල් කිහිපයක සටහන් ඇඳාලා තියෙන්න පුළුවන්...ඒ වගේ අවස්ථා වලදි 1A,1B,1C වගේ අදාල අංකයත් එක්ක ඉංග්‍රීසි අක්ෂර යොදාගන්න පුළුවන්..
මේ විදියට හදාගන්න ස්ටා්රිබෝඩ් එක මේ විදියටමයි හදාගන්න ඕන ඒ වගේම හැම දර්ශනයකටම ස්ටෝරි බෝඩ් අවශ්‍යයි කියලා නියමයක් හෝ රීතියක් නැහැ.සමහර අවස්ථා වලදී අතින් අදිනවා වෙනුවට පින්තූර කපලා අලවලා ස්ටෝරිබෝඩ් එකක් හදාගන්නත් පුළුවන්.එහෙම නැත්නම් ස්ටෝරි බෝඩ් නිර්මාණය කරන මෘදුකාංගයකින් පවා මේක නිර්මාණය කරගන්න පුළුවන්.
ස්ටෝරිබෝඩ් නිර්මාණය කරගත හැකි මෘදුකාංග
01.Moviestorm
02.FrameForge
03.ShotPro (iOS)
04.Power Production software
05. Adobe Photoshop
නොමිලේ ලබාගත හැකි මෘදුකාංග
06.StoryBoard Fountain
07.StoryBoardPro
08.Make Storyboard
09.OpenToonz
10.Paper
11.Shot Designer
දැන් ෂොට් ලිස්ට් එක,ස්ටෝරිබෝඩ් එක වගේම ස්ක්‍රිප්ට් Breakdown කියන ක්‍රියාවලි සියල්ල ගැන ඔබට අවබෝධයක් ලිපි මාලාව හරහා ලැබෙන්නට ඇති.මේ හැමදේම තියෙන්නේ චිත්‍රපට නිෂ්පාදනයේදී සියළු දෙනාගේ පහසුවට වගේම සැලසුම්කිරීම හරහා කාර්යක්ෂමතාවය වැඩි කරන්නත් වෙනවා.ඉතිං තමන් චිත්‍රපට නිර්මාණකරුවෙක් විදියට තීරණය කරන්න වෙනවා මේවා කොහොමද කළමණාකරය කරනගන්නේ වගේම අවශ්‍යතාවය අනුව සැලසුම් කරගන්නේ කොහොමද කියන වගත්.
0 Comments