තිරරචනයක යොදා ගන්න සාහිත්‍යමය යෙදීම් - දෙවන කොටස (තිරරචනය - නව සංස්කරණය 06)





දැන්  අපි බලමු තිරරචනයක යෙදාගන්න සාහිත්‍ය ශිල්පක්‍රම මොනවාද කියලා..මේවා නවකතා,කෙටි කතා වගේම පුවත්පත් ලිපි වගේ සාහිත්‍ය ආශ්‍රිත ලිපි ලේඛන නිර්මාණකරණයේදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කල යුතු වුනත් තිරරචනයේදි වැදගත් වන කිහිපය විතරක් මේ යටතේ අපි සාකච්ඡා කරමු...


01.Allegory - උපමා කතා
02.Alliteration - අනුප්‍රාසය / ශබ්දරසය
03.Allusion - ඉඟි
04.Flashback - අතීතාවලෝකනය
05.Foreshadowing - පෙරනිමිති
06.Exposition - විවරණය
07.Irony - උත්ප්‍රාසය / කුතුහලය 
08.Simile & Metaphor - උපමා හා රූපක
09.Paradox - විරුද්ධාභාසය
10.Satire - උපහාසය
11.Symbolism - සංකේත භාවිතය


දැන්⁣ මේවා ගැන වෙන වෙනම සොයා බලමු...


01.Allegory -උපමා කතා


මේ Allegory නැත්තම් උපමා කතා නැත්නම් උපහැරණ කියන්නේ සරලවම ජනප්‍රවාද හෝ ප්‍රබන්ධ කතාවක්..මේ කතාවේ ඉතා සරල කතා තේමාව වගේම චරිත කිහිපය ඇතුලේ අපි ජීවත් වෙන සැබෑ ලෝකයේ මුළු සමාජයම වුනත් නිරූපණය වෙන්න පුළුවන්..සරලවම සමාජීය හා දේශපාලනික කරුණු ආදේශ කරගත හැකි ප්‍රබන්ධය කතා තමයි උපමා කතා කියන්නේ...


උපමා කතා මුලින්ම බිහිවෙන්නේ පුරාණ ග්‍රීසියෙන් වෙනවා..ග්‍රීසියේ දර්ශනිකයෙක් වු ප්ලේටෝගේ ජනප්‍රිය "ප්ලේටෝගෙ ගුහාවේ උපමා කතාව" උපමා කතාවල ආරම්භක සාක්ෂිය විදියට ලේඛනගත වෙලා තියෙනවා...


තිරරචනයේදි මේ උපමාකතා සිද්ධාන්තය කතාව නිර්මාණය කිරීමේ තැන ඉඳලා යොදා ගන්න පුළුවන්...චරිත කිහිප යෙදාගෙන උපමා කතාවක් නිර්මාණය කිරීමක් විදියට ඇතැම් චිත්‍රපට හදුන්වන්න පුළුවන් වෙනවා..


Avatar චිත්‍රපටය ගත්තම ඒක ස්වදේශීකයන්ට සිද්ධ වෙන ආක්‍රමණයක් වගේම ජීවී කොට්ඨාසයක සංස්කෘතිය හා ස්භාවධර්මය  විනාශ කිරීමේ උපමාකතාවක් විදියට ගන්න පුළුවන්...මනුෂ්‍ය වර්ගයා සැබෑ ලෝකයේ පරිසරයට කරන දේ උපමා කතාවක් විදියට ඇවටාර් චිත්‍රපටයට ආදේශ කරගන්න පුළුවන්..


බොලිවුඩයේ PK චිත්‍රපටය කියන්නේ අන්ධ භක්තිය ගැන උපමා කතාවක් නම් ඒක අද ඉන්දියානු සමාජයේ අන්ධ භක්තිකයන්ට ආදේශ කරගන්න පුළුවන් උපමා කතාවක් කියන්න පුළුවන්...


ඉතිං සිනමා නිර්මාණයකදී තිරරචනය සිදු කරන්න කලින් කතාව නිර්මාණය කිරීමේදී උපමා කතා ශිල්ප ක්‍රමය ඒ විදියට නිර්මාණාත්මකව යොදා ගන්න පුළුවන්...




02.Alliteration - අනුප්‍රාසය / ශබ්දරසය


අනුප්‍රාසය කියන්නේ සරලවම ඇහෙන ශබ්දයට රසයක් එකතු කිරීමක්...තිරරචනයේදි අනුප්‍රාසය යොදා ගන්න ප්‍රධාන වශයෙන්ම පුළුවන් වෙන්නේ චිත්‍රපටයේ නම ,චරිත වල නම් වගේම ගීත රචනයේදි...


චිත්‍රපට වල චරිත වල නම් යොදාගන්නකොට ශබ්දරසයක් අති වන අාකාරයට ඒවා යොදාගෙන තියෙන්නේ කොහොමද කියලා උදාහරණය වලින් අපි බලමු.....


🔹Lolita චිත්‍රපටයේ Humbert Humbert 

🔹හොබිට්  චිත්‍රපටයේ Bilbo Baggins වගේම Gandalf the Grey 

🔹Game of Thrones කතා මාලාවේ Sansa stark, Lancel Lanister,Podryke Payne 

🔹Harry Potter චිත්‍රපට මාලාවේ Albus Dumbledore, Bellatrix Lestrange, Cedrick Diggory 


විදියට නම් වලින් ශබ්ද රසයක් එකතු කරපු උදාහරණ විදියට අපිට හදුන්වන්න පුළුවන්...ඒ වගේම Donnie Darko, King Kong, Benjamin Button, Willy Wonka තවත් උදාහරණ විදියට කියන්න පුළුවන්...


කොමික් කතා වල නම් වලට මේ ශිල්ප ක්‍රමය යෙදාගෙන තියෙන විදිය බලන්න..


🔹Billy Batson - Captain Marvel

🔹Bruce Banner - The Incredible Hulk

🔹Cassandra Cain - Batgirl

🔹Clark Kent, Lois Lane, Lex Luthor, Lana Lan- Superman

🔹Jessica Jones - Jessica Jones

🔹Matt Murdock - Daredevil

🔹Peter Parker, The Green Goblin, J. Jonah Jameson - Spider-Man        

🔹Scott Summers - The X-Men

🔹Stephen Strange -  Doctor Strange

🔹Susan Storm, Reed Richards - Fantastic Four

🔹Wally West - The Flash

🔹Wade Winston Wilson - Deadpool           




03.Allusion - ඉඟි


Reference කියලා අපි හදුන්වන ඉඟි කියන්නේ තවත් නිර්මාණයක ආභාෂයක් ඉඟියක් විදියට පෙන්වීම වෙනවා...උදාහරණයක් විදියට ටී ෂර්ට් එකක "How you Doing?" කියලා ගහලා තියෙනවා නම් අපිට එක පාරටම ඒක දැක්කාම මතක් වෙන්නේ Freinds සිට්කොම් කතා මාලාව..ඒ වාක්‍යය එතකොට අදාල කතා මාලාව පෙන්වන්න ඉඟියක් විදියට යොදාගෙන තියෙනවා..චිත්‍රපට වලත් මේ විදියට ඉඟි යොදා ගැනීම් සිද්ධ වෙනවා...


Star Trek VI: The Undiscovered Country චිත්‍රපටය මේ විදිය⁣ට තිරරචනය තුළ ප්‍රබල ඉඟි යොදාගත්ත චිත්‍රපටයක් විදියට හදුන්වන්න පුළුවන්...මේ චිත්‍රපටයට සීතල යුද්ධය,හිට්ලර්, ෂේක්ස්පියර්ගේ හැම්ලට්, Star trek part II චිත්‍රපටය වගේම 1967 දී නිකුත් වුණු Guess who's coming to dinner චිත්‍රපටයේ රෙෆරන්ස් යොදාගෙන තියෙනවා චිත්‍රපටයේ ඉඟි හරහා දකින්න පුළුවන්...


ඉතිං ඒ විදියට වෙනත් චිත්‍රපට වලින් නැත්නම් ඉතිහාසයේ සිදුවීම් වලින් නැත්නම් බයිබලයේ හෝ ජාතක කතා සිදුවීම් වල ඉඟි රෙෆරන්ස් විදියට යොදාගෙන ඒවා යොදාගත්තා කියලා ඉඟි වලින් පෙන්වන්න තිරරචනයේදි සිදු කරන්න පුළුවන්...


   


  04.Simile & Metaphor - උපමා හා රූපක


උපමා රූපක කියන්නේ දෙබස් රචනයේදි ප්‍රධාන වශයෙන් යොදාගන්න පුළුවන් භාෂාවේ ප්‍රබලත්වය ඉස්මතු කරන්න යොදා ගන්න පුළුවන් තාක්ෂණික ක්‍රම වෙනවා..


උපමා කියන්නේ යමක් තව එකකට ආදේශ කිරීම. රූපක කියන්නේ දෙයක් තව දේකට සමාන කරන එක. උපමා වලදී මෙන් සේ වැනි වගේ පද වලින් ආදේශ කලත් රූපක වලදී කෙලින්ම සමාන කරනවා.


Forrest Gump චිත්‍රපටයේ මේ දෙබස මතකද?.


"ජීවිතය චොක්ලට් පෙට්ටියක් වගේ"


වගේ කියලා තියෙන නිසා මේක උපමාවක්.." ජීවිතය චොක්ලට් පෙට්ටියක් " කියලා තිබුණා නම් ඒක රූපකයක් වෙනවා.


🔹රූපක දෙබස් රචනයේදි වචන වලින් රූප මඟින්ද පෙන්වන්න පුළුවන්. ඒ රූපක Visual Metopheor කියලා හදුන්වනවා. කලින් ලිපියේ කතා කරපු Motif කියන්නේ එක්තරා ආකාරයක රූපකයක්.දෘශ්‍ය රූපකයක් (Visual Metopheor) කිහිප වතාවක් චිත්‍රපටය පුරා යොදා ගත්තොත් ඒක Motif එකක් වෙනවා..


උදාහරණයක් විදියට Shawshank Redemption චිත්‍රපටයේ වයසක සිරකරුවා වුණු Brooks තියාගෙන ඉන්න කුරුළු පැටියා මේ Visual Metopheor එක්ක විදියට සලකන්න පුළුවන්. කුරුල්ලෙක් කියන්නේ නිදහසේ පියාඹන සතෙක්..ඒත් ඌව ඇදුමේ හංගගෙන කන්න දෙන එක ෆිල්ම් එකේ තේමාවට ගැලපෙන අපූරු රූපකයක් වෙනවා. නිදහස අහිමි වුණු කුරුල්ලෙක්ව සිරකරුවන්ට සමාන කිරිමක් විදියට මේ රූපකය යොදාගෙන තියෙනවා.


🔹ඊළඟට අපිට චිත්‍රපට වල හමුවෙන තවත් රූපක විශේෂයක් තමයි Extended Metopheor එකක් කියන්නේ..දීර්ඝ රූපක භාවිතයක් කියන්නේ කලින් වගේ එකපාරක් හරි සැරෙන් සැරේට පෙන්වන රූපකයක් වගේ නැතුව චිත්‍රපට තය පුරාවටම වගේ යොදාගන්න රූපක යෙදීමක්..


Parasite චිත්‍රපටයේ පොළව යට ජීවත් වෙන මිනිහා පොළව උඩ පෝසතුන්ගෙන් යැපෙන පරපෝෂිතයෙක් නැත්නම් පැරාසයිට් කෙනෙක් විදියට චිත්‍රපටයේ තේමාවත් එක්ක චිත්‍රපටය පුරාම රූපකයක් විදියට යොදාගෙන තියෙන විදිය Extended metaphor එකට උදාහරණයක් විදියට හදුන්වන්න පුළුවන්. 




05.Foreshadowing - පෙරනිමිති


Foreshadowing කියන්නේ කතාවේ ඉස්සරහට වෙන්න තියෙන දෙයක් කලින්ම පෙන්වන එකට. මේකෙන් කතාවට කුතුහලයක් එක්කම අවධානයක් ගන්න පුළුවන් වෙනවා.


මේක දෙබසක් විදියට නැත්නම් සංඥාවක් හෝ සංකේතයක් විදියට අතුලත් වෙන්න පුළුවන්..


The Dark Knight ෆිල්ම් එකේ හාර්වි ඩෙන්ට් කියන මේ දෙබස මතකද?,


"You either die a hero, or live long enough to see yourself become the villain"


හාර්වි චිත්‍රපටයේ පළවෙනි කොටසේදි කියන මේ දෙබසින් පෙරනිමිත්තක් දෙනවා හාර්වි ඩෙන්ට් තමයි ටූ ෆේස් වෙන්නේ කියලා...


මාර්ටින් ස්කෝසේසිට ඇකඩමි සම්මානයක් ලබා දුන්න The Departed චිත්‍රපටයේ අපූරුවට Foreshadowing එකක් සංකේතයක් විදියට පාවිච්චි කරනවා දකින්න පුළුවන්..චිත්‍රපටයේ කවුරු හරි මැරෙන්න යනවා නම් ඊට කලින් දර්ශනයක X ලකුණක් සං⁣කේතයක් විදියට යොදා ගන්නවා දකින්න පුළුවන්.




06.Flashback - අතීතාවලෝකනය


Flashback කියන්නේ අතීත මතක ආවර්ජනයන්. නවකතාවක කෙටි කතාවක වගේ අතීතමතක ආවර්ජනයේදි අපිට කෙනෙක් හිතනවා කියන දේ කියන්න වෙනවා.තිරරචනයකදීත් අතීතාවර්ජනයක් කියන එක සඳහන් කිරීම වැදගත් වෙනවා.Slugline එකේ Flashback ව්දියට හරි නැත්නම් අදාල කාලවකවානු දැක්වීම තිරරචනයේදි සිදු කිරීම වැදගත් වෙනවා.


නමුත් චිත්‍රපටයක අපිට බොහෝ ක්‍රම හරහා අපිට මේක අතීතාවර්ජනයක් විදියට පෙන්වන්න පුළුවන්.ප්‍රධාන අංග පහකින් අතීතාවර්ජනයක් ප්‍රේක්ෂකයන්ට දනවන්න චිත්‍රපටයක හැකි වෙනවා.


🔹ඇදුම් වලින්

🔹වේෂ නිරූපණයෙන්

🔹කතා විලාසය මඟින් 

🔹පසුතල නිර්මාණයන්ගෙන් හා ,

🔹කතාවේ ටෝ්න් එක වෙනස් කරමින් 



07.Symbolism - සංකේත භාවිතය


සංකේතවාදය කියන්නේ වස්තුවක් නැත්නම් දෙයක් හරහා අර්ථයක් ඉදිිපත් කිරීමේ කලාවක්. දෘශ්‍ය හා සංවේදනය වෙන දෙයක් හරහා අදෘශ්‍ය දෙයක් නියෝජනය කිරීම තමයි මේ කලාවේ අරමුණ. මේක චිත්‍රපට ඇතුළු කලා නිර්මාණ වල වගේම එදිනෙදා ජීවිතයෙත් හමුවෙන් ලොකු ඉතිහාසයක් තියෙන කලාවක්. "❤️" මේ සංකේතයෙන් කියන්නේ ආදරය කියන එක එදිනෙකදා අපි දකින සාමාන්‍ය සංකේත භාවිතයක්.


සංඥා නැත්නම් Signal හෝ Sign කියන්නේ සන්නිවේදන මාධ්‍යයක්.ඒත් Simbol සංකේත කියන එක සංස්කෘතිය එක්ක බැදුණ දෙයක්.උදාහරණයක් විදියට රතු වර්ණය බටහිර රටවල් වල සංකේතවත් කරන්නේ කෝපය, ආශාව, වියරුව වගේ පෙන්වන්න..ඒත් ආසියාතික රටවල් වල සතුට , වාසනාව වගේ පෙන්වන්න රතු වර්ණය යොදා ගන්නවා.


චිත්‍රපටයක නම් සංකේත භාවිතය විවිධ ක්‍රම හරහා සිදු කරන්න පුළුවන්.

වර්ණ වගේම පොදු සංකේත යොදාගන්න චිත්‍රපටයක අපිට පුළුවන් වෙනවා.උදාහරණයක් විදියට 

කළු පුසෙක්ගෙන් අපලයක්,උපද්‍රවයක් සංකේතවත් කරනවා වගේම බකමුණෙක්ගෙන් නම් ප්‍රඥාව පෙන්වන්න පුළුවන්

රෝස මලකින් ප්‍රේමය, ආදරණීය බව පෙන්වන්න පුළුවන් වගේම American Beauty චිත්‍රපටයේ වගේ රාගය සංකේතවත් කරන්න පුළුවන්.

තව උදාහරණයක් විදියට අවාසනාව නැත්නම් අසුබ  නිමිත්තක් වැස්ස හරහා සංකේතවත් කරන්න පුළුවන්.


තිරරචනයේදි තිරරචකයාට පුළුවන් වෙනවා වෙනම සංකේතයන් නිර්මාණය කරන්න.Arrival චිත්‍රපටයේදි පිටසක්වල භාෂාවක් විදියට වෙනමම සංකේත ක්‍රමයක් හදුන්වලා දීලා තියෙනවා මතක අැති.


ඒ වගේ තිරරචකයාට පුළුවන්කමක් තියෙනවා වෙනමම අර්ථයක් සහිත සංකේත භාවිතයක් අළුතින් හදුන්වාදෙන්නට..




08.Exposition - විවරණය


මේ කියන්නේ අවස්ථා හා සිද්ධි විවරණය කිරීම නැත්නම් විස්තර කිරීම. කතාවේ තේමාව ගැන, කතාවට සම්බන්ධ බාහිර පරිසරය ගැන,කාලය ගැන වටපිටාව , චරිත ගැන කරන විස්තර කිරීම තමයි මේ Exposition කියන්නේ. තිරපිටපතක Action Line කියන තීරුවේ කරන මේ විවරණය හරහා තමයි අධ්‍යක්ෂකවරයාට හෝ නිෂ්පාදකවරයාට කතා තේමාව ගැන හොඳ අවබෝධයක් හා අදහසක් ලැබෙන්නේ.


ඉතිං සරල භාෂාවකින් හොඳ පසුබිම් විවරණයක් තිරපිටපතට ඇතුලත් කිරීමත් තිරරචනයේදි යොදාගන්න පුළුවන් හොඳ ශිල්පීය ක්‍රමයක් වෙනවා.



මේ තමයි හොඳ තිරරචනයක් සිදු කරගන්න තිරරචකයා අවධානය යෙමු කල යුතු වැදගත්ම සාහිත්‍යමය ශිල්පීය ක්‍රම වෙන්නේ.ඇකඩමි සම්මා තන උළෙල වගේ සම්මාන උළෙල වල් වල හොඳම තිරරචනයට සම්මාන ලැබෙන චිත්‍රපට අරගෙන බැලුවොත් මේ විදියට කතා කරපු ශිල්පීය ක්‍රම වගේම කලින් ලිපියේ කතා කරපු සාහිත්‍යමය අංග දකින්න පුළුවන් වෙනවා..


                            ✒️සිනමා තක්සලාව වෙනුවෙන් 
                                 -අනුෂ්ක රසාංජන ද සිල්වා-

Post a Comment

0 Comments