චිත්‍රපටයකට සම්බන්ධ කණ්ඩායම්
සිනමාතක්සලාව හරහා කලින් චිත්‍රපට නිර්මාණයට සම්බන්ධ වෙන විවිධ ක්ෂේත්‍ර ගැන කතාකලා...තිරරචනය,කැමරාකරණය,අධ්‍යක්ෂණය,සංස්කරණය,පසු නිෂ්පාදනය වගේ දේවල් වලට සම්බන්ධ ලිපි අරගෙන ආවා...අද මේ ලිපියෙන් කතා කරන්න යන්නේ චිත්‍රපටයක් නිර්මාණය කරන කොට වැදගත්ම වෙන චිත්‍රපට කාර්යමණ්ඩලය නැත්නම් Film Crew එක හැදෙන්නේ කොහොමද,ඒකෙ ඉන්න අය කවුද?,එයාලා එක එකෙනාට පැවරිලා තියෙන වගකීම් මොනවද කියලා හොයලා බලන්නයි...
ඇත්තටම මේ මාතෘකාව යටතේ කතා කරන කාර්යය මණ්ඩලයේ නැත්නම් Crew එකේ හැමෝම චිත්‍රපටයක් නිර්මාණය කරනකොට දායක නොවෙන්න නැත්නම් වෙන වෙනම සම්බන්ධ නොකරගන්න පුළුවන්...ඒත් හොලිවුඩ්,බොලිවුඩ් වගේ දැවැන්ත චිත්‍රපට කර්මාන්ත වල කාර්යය මණ්ඩලය විවිධ දෙපාර්තමේන්තු නැත්නම් Department යටතේ හැදිලා තියෙන විදිය ගැන තමයි කියන්න යන්නේ...ඉතිං ඒ Department මොනවද ඒවාට සම්බන්අය කවුද කියලා වෙන වෙනම අපි දැන් බලමු...
අපි හැමෝම වගේ දන්න චිත්‍රපටයකට සම්බන්ධ මූලිකම අනිවාර්යෙන් ඉන්න අය තමයි තිරරචක,අධ්‍යක්ෂක,නිෂ්පාදක, විධායක නිෂ්පාදක හා රංගන ශිල්පීන් අයත් වෙන On Screen Talent කියන අය...මෙයාලා තමයි චිත්‍රපටයකට සම්බන්ධ වෙන ඉහළින්ම ඉන්න මූලිකම අය වෙන්නේ...හරියට ලොකු හමුදාවක ජෙනරල්වරු නැත්තම් ඉහළම නිලධාරීන් වගේ තමයි මෙයාලා....
එතකොට සාමාන්‍යයෙන් හොලිවුඩ් බොලිවුඩ් වල වගේම අනිත් සිනමාකර්මාන්ත වල වුනත් දැවැන්ත චිත්‍රපටයක් නිර්මාණය කරනකොට මේ ජෙනරාල්වරු යුධ පෙරමුණට එන්නේ නැහැ...යුධ පෙරමුණට එන්නේ Line Producer නැත්නම් රේඛීය නිෂ්පාදක කියන කෙනා...මෙයා තමයි චිත්‍රපටයක බජට් එක පාලනය කරන්නේ වගේම පහළ ඉන්න හමදාව හසුරවන්නේ...ඒ ගැන කතා කරන්න කලින් අපි චිත්‍රපටයක වැඩ පටන් ගන්න තැනින් පටන් ගමු...
චිත්‍රපටයක වැඩකටයුතු ආරම්භ වෙන්නේ තිරරචනයෙන්...තිරරචකයෙක් හරහා නිෂ්පාදනය සමාගමකට යොමු වෙන පිටපත සමහර අවස්ථාවලදී නිෂ්පාදකයාගේ අවශ්‍යතාව අනුව ලියවෙන්නත් පුළුවන්...ඒ කියන්නේ මේකයි...හිතන්න වොනර්බ්‍රොස්ලාට සුලර් මෑන් චිත්‍රපටයක් හදන්න ඕන වෙනවා...ඉතිං එයාලා ඒකට ගැලපෙන තිරරචකයෙක්ට වැඩේ පවරනවා...නැත්නම් කවුරු හරි තිරරචකයෙක් ලියනවා බැට්මෑන් ගැන ෆිල්ම් එකක්..ඒක දෙනවා වෝනර් බ්‍රොස්ලට...එයාලා කැමති නම් ෆිල්ම් එක ප්‍රඩියුස් කරන්න ගන්නවා...ඒවිදියට තමයි චිත්‍රපටයක වැඩකටයුතු මුලින්ම තිරරචකයා හා නිෂ්පාදකවරයා අතර සිද්ධ වෙන්නේ....
තිරරචනය ඇත්තටම බැරෑරුම් රාජකාරියක්...අපි තිරරචනය ගැන කතා කරපු ලිපියෙන් පිටපතක් ලියන පියවර ගැන කතා කලා...ඇත්තටම හොඳ පිටපතක් නිර්මාණය වෙන්නේ එක පාරක් නෙවෙයි කිහිප වතාවක් වෙනස් කිරීම් කලාට පස්සේ...ඒක නිෂ්පාදක ,අධ්‍යක්ෂකගේ අදහස් අනුව කිහිපවතාවක්ම වෙනස් වෙන්නත් පුළුවන්..
තිරරචනය සිදු වෙන කාලය අතරතුරදී තමයි නිෂ්පාදකවරයා හෝ නිෂ්පාදක සමාගම මේකට සුදුසු අධ්‍යක්ෂකවරයෙක්,නළු නිළියන් හොයන්නේ වගේම චිත්‍රපටයේ බජට් එක හදන්නෙත්....සාමාන්‍යයෙන් බජට් එක කොටස් දෙකකට වෙන් වෙනවා...ඒ Above the Line Costs වගේම Below the Line Costs කියලා...චිත්‍රපටයට බුද්ධිමය අයිතිය ගන්න,ඒ කියන්නේ මේක රීමේක් චිත්‍රපටයක් නම් හරි පොතක අනුවාදයක් නම් හරි ඒකේ අයිතිය ගන්න වැඩ වලට වගේම අර මුලින්ම කියපු යුධ පෙරමුණේ ඉහළින්ම ඉන්න ජෙනරාල්වලරු කියපු අයගේ වියදම් තමයි මේ මුලින්ම කියපු Above the Line Costs කියන කොටසට වැටෙන්නේ...එතකොට අනිත් එක Below the Line Costs කියන කොටස තමයි යුධ පෙරමුණේ ඉන්න අනාත් අයගේ වියදම් වලට වෙන්කරන්නේ...ඒ වගේම සුළු චරිත වලට රඟපාන අයට කරන වියදම්,නිෂ්පාදන වියදම්,පසු නිෂ්පාදන වියදම්,ප්‍රචාරක කටයුතු මේ හැමදේටම වෙන් කරන බජට් එක තමයි Below the Line Costs කියන්නේ...
තිරරචනය,අධ්‍යක්ෂකවරයා ඇතුළු කාර්යමණ්ඩලය,අයවැය මේ හැමදේම හරියට හදාගත්තට පස්සේ නිෂ්පාදකවරයා කරන්නේ රූගත කිරීම් කරන්න කාලසටහනක් හදාගන්න එක...මේ දෛනික රූගත කිරීමේ කාලසටහන තිරපිටපතේ අනුපිළිවෙලට නෙවෙයි සිද්ධ වෙන්නේ...අනුපිළිවෙල හැදෙන්නේ සංස්කරණයේදි...මෙතනදි කාලසටහන හැදෙන්නේ එකම දර්ශන තලයේ සිදුවීම් එකපාර ගන්න පුළුවන් විදියට...ඉතිං මේ විදියේ කාලසටහනක් හදාලා ඒක ගැන අධ්‍යක්ෂක, නළු නිළියන් අැතළු කාර්යය මණ්ඩලයට දන්වලා කාලසටහනේ විදියට දවස ගානේ වැඩේ ගැන බලන්නේ කලින් කියපු රේඛීය නිෂ්පාදක නැත්නම් Line Producer......
දැන් අපි බලමු එහෙනම් මේ Line Producer ට පහළින් ඉන්න හමුදාව නැත්නම් චිත්‍රපටක් නිර්මාණය කරනකොට අර කලින් කියපු ප්‍රධාන අයට පහළින් ඉන්න අය කවුද කියලා...
01.Film Production Crew (චිත්‍රපට නිෂ්පාදන කාර්යයමණ්ඩලය)
Line Producer අයිති වෙන්නේ මේකට...Line Producers, Production Manager , Production Coordinators , UPMs (Unit Production Managers), PA's (Production Assistants කියන අයත් මේ යටතේ ඉන්නවා...
කලින් කිව්වා වගේ මේ නිෂ්පාදක කණ්ඩායම තෝරගන්න එක Line Producer ට අයිති වැඩක්...ඒ ඒ අයට අදාල වැඩ රාජකාරි පවරන එකත් Line Producer අතේ තියෙන්නේ...කොටින්ම චිත්‍රපටයක නිෂ්පාදකවරයා නියොජනය කරන කෙනා තමයි මේ Line Producer වෙන්නේ....
එයාගේ සහයට ඉන්න Production Manager නැත්නම් Production Coordinator , Production Assistant කියන අතිරේක වෘත්තින්ගේ කාර්යය තමයි Liner Producerගේ වැඩ බෙදාගෙන කරන එක..දෛනික වැඩ කටයුතු හොයලා බලන එක ආහාරපාන,ඉඳුම් හිටුම් බලනඑක වගේ දේවල් වලට ඉන්න අය තමයි මෙයාලා...එතකොට Production Accounter නැත්නම් Production Auditor වැය පිළිබඳ ගිණුම් කටයුතු අධීක්ෂණය කරන්න ඉන්නවා වගේම Production Secretary කියන කෙනාගේ වගකීම සන්නිවේදන කටයුතු නැත්නම් ඒ ඒ ඒකක අතර සම්බන්ධතාවය තියාගන්න එක...
ඉතිං කලින් කිව්වා වගේ මේ වගේ ලොකු Production Crew එකක් නැත්නම් Line Producer යටතේ ඉන්න කංඩායමේ සාමාජිකයන් ගාන තීරණය වෙන්නේ නිර්මාණය කරන චිත්‍රපටය අනුව තමයි...
02.AD Department...(සහය අධ්‍යක්ෂක කණ්ඩායම)
මේක සහය අධ්‍යක්ෂකගේ කණ්ඩායම...මේකට 1st AD, 2nd AD, 2nd 2nd AD (3rd AD), Set PA's කියන අයි ඉන්න පුළුවන්....
චිත්‍රපටයක අධ්‍යක්ෂකවරයාගේ සහය වෙුනවෙන් ඉන්න මේ අය අතරින් සාමාන්‍යයෙන් 1st AD නැත්නම් පලමු සහය අධ්‍යක්ෂකවරයා ඕනම චිත්‍රපටයක නිෂ්පාදන කටයතු වලට දායක වෙනවා...අධ්‍යක්ෂකවරයාගේ අනුමැතියෙන් හැමදාම රූලත කිරීම් සංවිධානය කරන එක,නළු නිළියන් ගැන අවධානයෙන් ඉන්න එක මෙයාගේ රාජකාරිය වෙනවා...ඇත්තටම හොඳ 1st AD කෙනෙක් කියන්නේ නිතරම කෑගහන කෙනෙක්ට වඩා හැමදේම ගානට හීන් සිරුවට පාලනය කරලා අධ්‍යක්ෂකවරා ස්ට්‍රේස් වෙන්න නොදී තියාගන්න පුළුවන් කෙනෙක්ට....
මේකෙදී 2nd AD කෙනෙක් ඉන්නවා නම් එයාගේ රාජකාරිය තමයි 1st AD එක්ක සම්බන්ධ වෙලා චිත්‍රපටයේ කැමරා හා කාර්මික ශිල්පීන් ,විදුලි ශිල්පීන් ගැන හොයලා බලන එක...සාමාන්‍යයෙන් 3rd AD කෙනෙක් ගන්නේ චිත්‍රපටයේ අධ්‍යක්ෂක හා අනිත් කාර්මික ශිල්පීන් අතර පණිවිඩකාරයෙක් විදියට.....
ඉතිං සමස්තයක් විදියට හැම චිත්‍රපටයකම 2nd AD, 3rd AD නැති වුනත් හැම චිත්‍රපටයකම වගේ ඉන්න වගේම චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු වලදී අවශ්‍යම කෙනා විදියට 1st AD ලොකු වගකීමක් පැවරෙන කෙනෙක් වෙනවා....
03.Camara Department (කැමරා කණ්ඩායම)
මේක Photographic Unit නැත්නම් ඡායාරූප ඒකකය කියලාත් හදුන්වනවා...මේ අංශයේ ප්‍රධානියා සිනමාඡායාරූප අධ්‍යක්ෂකවරයා...ඔහුට DOP (Director of Photography) නැත්නම් Cinematographer කියලාත් කියනවා....DOP එක්ක මේ කණ්ඩාමට අයිති වෙන අය තමයි,
1st Assistant Camara , 2nd Assistant Camara , Steadicam Oparator , Loader , DIT/Media Management , Still Photographer, Camara PA
මෙතනින් 1st Assistant Camara නැත්නම් 1st AC තමයි හැමවෙලාවෙම කැමරාවට පිටිපස්සෙන් ඉන්න කෙනා...ෆෝක්ස් එක හරියට හදාගෙන සම්පූර්ණ චිත්‍රපටයම කැමරාවට අසුකරගන්න රාජකාරිය පැවරිලා තියෙන්නේ මෙයාට...
කලින් කිව්වා වගේ රූගත කරන්නේ අනුපිළිවෙලකට නෙවෙයි...එක දර්ශන තලයක රූගත කරන්න තියෙන දර්ශන කිහිපයක් එකපාර රූගත කැන්න පුළුවන්...මේ වෙලාවේදි ඒ එක දර්ශනයක රූපඛණ්ඩ එහෙම නැත්නම් Shot කිහිපයක්ම තියෙන්න පුළුවන්...ඒ විතරක් නෙවෙයි...ඒ එක එක ෂොට් ගන්න වාර පවා එකකට වැඩි ගාණක් තියෙන්න පුළුවන්...මොකද සාමාන්‍යයෙන් ඩිරෙක්ටර්ට හිතෙන්න පුළුවන් මෙතන වෙන කැමරාවකින් වෙන කැමරා කෝණයනින් මේක ගත්තොත් හොඳයි කියලා..ඒ වෙලාවට මේ හැමදේම සටහන් කරගන්න එක වැදගත් වෙනවා...ඒක කරන්න පාවිච්චි කරන පඅවරුව තමයි මේ ක්ලැපර් බෝඩ් එක කියන්නේ...කැමරාවෙන් රූගත කරන්න පටන් ගන්න කලින් ක්ලැපර් බෝඩ් එක කැමරාව ඉස්සරහට අරන් ඇවිත් හයියෙන් ඇති කරන ශබ්දය නිසා රූපය ශබ්දයත් එක්ක සමපාත වුනාම සංස්කරණයේදි මේ මොන සීන් එකේ මොන ෂොට් එකද කියලා අදුරගන්න පුළුවන් වෙනවා...
ඉතිං අන්න ඒ කියපු ක්ලැපර් බෝඩ් එකේ වැඩේ කරන්නේ මේ 2nd Assistant Camara නැත්නම් 2nd AC...මේ මොන දර්ශන අංකයේ කී වෙනි රූප කණ්ඩයේ කී වෙකි වාරයද කියන විස්තර හරියට ක්ලැපර් බෝඩ් එකේ සටහන් කරගෙන කැමරාව ඉස්සරහට අරන් එක තමයි මෙයාගේ රාජකාරිය...මෙයාට 2nd AC නැත්නම් සමහර තැන් වලදී Clapper Loader කියලාත් කියනවා...ඒ වගේම 1st AC ගේ සහයකයා විදියට එයාට පහසුවෙන විදියට ෆෝකස් පොයින්ට් සලකුණු කරන එක වගේම හැම රූප ඛණ්ඩයකම හැම කැමරාවකම Setting පවා සටහන් කරගන්න එක මෙයාට පැවරෙනවා...
ඒ වගේම ඔයාලා දැකලා ඇති චිත්‍රපට රූගත කරනකොට ඇඟට බැඳන් ඉන්න ලොකු කැමරාවක් හසුඑවන කෙනෙක්...මේ කැමරාවට කියන්නේ Steady Camara කියලා...ඒක මෙහෙයවන කෙනා තමයි Steady Cam Oparator කියන්නේ...
මේ කැමරාව තමයි Tracking and Trucking Shot වලට ගන්නේ...(Camara Movements සම්බන්ධ ලිපියේදී මේ කරුණු සඳහන් කලා...)
ඊළඟට 1st AC ගේ කැමරාවේ ලෙන්ස් මාරු කරන්න සෙටින් හදන්න සහය වෙන කෙනා විදියට මේ කණ්ඩායමේ Loader කියලා කෙනෙක් ඉන්න පුළුවන් වගේම DIT නැත්නම් Digital Imaging Technician කියන කෙනෙක් DOP ගේ සහයට ඉන්න පුළුවන්...මෙයා ස්ක්‍රීන් එකකින් ඒඒ ෂොට් එකේ කලර් කරෙක්ෂන් , ඉමේජ් කොලිටි එක , දෝෂ වගේ දේවල් බලලා DOPට වාර්තා කරන්න DOP ගේ කණ්ඩායමේ ඉන්න පුළුවන් කෙනෙක් වෙනවා...
ඊළඟට Still Photographer නැත්නම් නිශ්චල ඡායාරූප ශිල්පියා කියන්නේ කවුද බැලුවොත් එයා තමයි BTS නැත්නම් කැමරාවෙන් පිටුපස සිද්ධ වෙන දේවල් කැමරාවට අහු කරගන්නේ...මේ ඡායාරූප වලින් ආලෝකකරණය,වර්ණ භාවිතය,පසුතල නිර්මාණය ගැන අදහසක් ගන්න පුළුවන් වෙනවා වගේම ප්‍රචාරක කටයුතු වලදිත් මෙයාගේ ඡායාරූප වැදගත් වෙනවා...
04.Grip and Electric Department
මේකත් දර්ශන තලයේදි වැදගත්ම වෙන තවත් අංශයක්...මේකේදී තමයි අපිට Graffer , Best Boy, Electricians, Generator Operator , Key Grip, Best Boy Grip, Dolly Grip, Rigging Grip කියන අය හම්බවෙන්නේ...මුලින්ම අපි ඉලෙක්ට්‍රෝනික අංශය ගැන බලමු...
මෙතන ප්‍රධානියා විදියට අපිට හම්බවෙන කෙනා තමයි The Graffer නැත්නම් ප්‍රධාන ආලෝකකරණ ශිල්පියා...Head Electrician කියලාත් හදුන්වන මෙයා තමයි ආලෝකකරණයට අවශ්‍ය සියළුම ලයිට් වගේම අමතර උපාංග භාරව ඉන්නේ...මෙයාගේ උදව්වට තමයි Electrician නැත්නම් විදුලි කාර්මික ශිල්පීන් ඉන්නේ...
ඊළඟට Grip Department එකට ගියොත් මේකේ ප්‍රධාන තනතුර වෙන්නේ Key Grip නැත්නම් ඩක්කු හා දොඹකර වගේ අමතර උපාංග හා අදාළ ප්‍රධාන තාක්ෂණික ශිල්පියා...මෙයා තමයි චිත්‍රපටය රූගත කරනකොට කැමරාව අරන් යන්න අවශ්‍ය වෙන උපාංග වගේම ආලෝකකරණයට අවශ්‍යය උපකරණ සිවිකිරීම වගේ දේවල් භාරවෙලා ඉන්න කෙනා...මෙයා යටතේ සමයක කණ්ඩායමක් ඉන්නවා.ඒ අය තමයි Dolly Grip නැත්නම් ඩක්කු ක්‍රියාත්මක කරන්න තල්ලු කරන්න ඉන්න කෙනා...ඒ වගේම Rigging Grip ඉන්නෙත් මෙයා යටතේ...
ඊළඟට මේ Grip වගේම Electric department දෙකටම වැදගත් වෙන කෙනෙක් තමයි Best Boy කියන්නේ...සාමාන්‍යයෙන් හොලිවුඩ් වල Best Boy කියන්නේ ප්‍රධාන විදුලි කාර්මික ශිල්පියාගේ සහයකයාට...ඒත් මෙයා Grip වගේම electric දෙපැත්තටම සහයකයා විදියට ඉන්නත් පුළුවන්....
05.Hair and Make-up Department
මේ යටතේ ඉන්න අය තමයි කොණ්ඩා මොස්තරය නිර්මාණකරුවන් වගේම වේෂ නිරූපණ ශිල්පීන් කියන අය...ඒ වගේම විශේෂ ප්‍රයෝග සඳහා වන වේෂ නිරූපණ (Special Effect MakeUp) ඒ කියන්නේ තුවාල වගේ දේවල් පෙන්නන්න වේෂ නිරූපණ සිදු කරන අය වගේ කණ්ඩායමකින් මේ අංශය නිර්මාණය වෙලා තියෙනවා....
06.Art Department
චිත්‍රපටයක තවත් දැවැන්ත කණ්ඩායමක් තමයි මේ අංශයට අයිති වෙන්නේ...මේ යටතට තව කුඩා අංශ කිහිපයකුත් අයිති වෙනවා..ඒ ඇදුම් හා වස්ත්‍රාභරණ නැත්නම් Costume and Wardrobe සහ රංග භාණ්ඩ නැත්නම් Props කියන අංශ....
Art Department එකේ ප්‍රධානියා තමයි Production Designer නැත්නම් නිශ්පාදන සැලසුම් ශිල්පියා.. මෙයා චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වගේම කැමරා අධ්‍යක්ෂක දෙන්නා එක්ක එකතු වෙලා චිත්‍රපටයේ ඇදුම්,පසුතල,රංගභාණ්ඩ මේ හැමදේම ගැන කතා කරගෙන සැලැස්මක් වගේම සැලැස්ම ක්‍රියාත්මක කරන ආකාරය ගැන කතා කරගත්තාට පස්සේ වගකීම පැවරෙන්නේ මේ අංශයේ ඉන්න ඊළග වැදගත්ම කෙනා වුන කලා අධ්‍යක්ෂකවරයා නැත්නම් Art Director ළඟට...මෙයා තමයි පසුතල ගොඩනැඟීම,පින්තාරු කිරීම,චිත්‍ර,දළ සටහන් වගේ දේවල් නිර්මාණය කරන්නේ...
ඒ දේවල වලට කලා අධ්‍යක්ෂකගේ සහයට තමයි අර අනිත් පොඩි කණ්ඩායම් දෙක වුන ඇදුම් හා වස්ත්‍රාභරණ නිර්මාණ කණ්ඩායමයි රංග භාණ්ඩ නිර්මාණ කණ්ඩායමයි ඉන්නේ.....ඇදුම් නිර්මාණය කරන්නේ Costume Designer කියන පළපුරුදු කෙනෙක් යටතේ ඉන්න කණ්ඩායමක් එකතු වෙලා...
රංගභාණ්ඩ නිර්මාණ අංශයේ ප්‍රධානිය තමයි Property Master..මෙයා තමයි දර්ශන තලයේ රංගන ශිල්පීන්ට සම්බන්ධ වෙන පාවිච්චි කරන හැමදේම නැත්නම් රංග භාණ්ඩ ගැන සම්පූර්ණ වගකීම දරණ කෙනා වෙන්නේ...ඒ රංග භාණ්ඩ හදන අය තමයි Prop Makers කියන්නේ... හදන්න එතකොට මේ රභාණ්ඩ විදියට අවි ආයුධ ගන්නවා කියලා හිතමු...එතකොට ඒවා ගැන හොයලා බලන්න,ඒවගෙන් රංගන ශිල්පීන්ට හරි කාර්යය මණ්ඩලයට හරි අනතුරක් නොවෙන විදියට වගකීම ගන්න වෙනම Weapon Master කියලා කෙනෙකුත් ඉන්නවා...
අවි ආයුධ හසුරවන්න Weapon Masters ඉන්නකොට චිත්‍රපටයට සම්බන්ධ සතුන් හසුරවන්න මේ Prop අංශයේ ඉන්න අනිත් කෙනා තමයි Animal Wranglers කියන්නේ...
Lead Man කියන්නේ පසුතලයට අවශ්‍ය බඩු භාණ්ඩ තෝරාගන්න එක ගැන වගකීම පැවරෙන කෙනා වෙන්නේ...ඊළඟට පසුතලයට අවශ්‍ය කරන ගහකොළ,පඳුරු වගේ දේවල් සපයන්න,නඩත්තු කරන්න භාරව ඉන්න අය තමයි Greens mans කියන්නේ...
ඊළඟට Set Dresser තමයි පසුතලය නිර්මාණය කරන වගකීම භාර වෙලා ඉන්නේ...චිත්‍රපටයට අවශ්‍ය විදියට පසුතලය නිර්මාණය කරන වැඩේ භාරවෙලා ඉන්න මෙයා යටතේ හොලිවුඩ් වල නම් ලොකු කණ්ඩායමක් වැඩ කරනවා...
Production Design Unit එක අයිති මේ Art Department එක සම්පූර්ණයෙන් අයිති වෙන්නේ Pre Production නැත්නම් පූර්ව නිශ්පාදන අවධිය කියන රූගත කිරීම් වලට කලින් කරන වැඩ වලට...Production Designer චිත්‍ර ශිල්පියෙක් යොදාගෙන චිත්‍රපටයේ හැම රූප ඛණ්ඩයක්ම චිත්‍ර විදියට අදිනවා...මේ අදින් රූප මාලාව තමයි Story Board කියන්නේ...මේ චිත්‍ර නිසා කැමරා කෝණ, ආලෝකකරණය ,කැමරා රූපරාමු විතරක් නෙවෙයි වස්ත්‍රාභරණ ගැන පවා අදහස් ගන්න පුළුවන්...සමහර අධ්‍යක්ෂකවරු හැම රූප ඛණ්ඩයකටම ස්ටොරි බෝඩ් අඳින්නේ නැති වුනත් Special Effect පාවිච්චි කරන රූප රාමු අනිවාර්යෙන් අඳින්නේ මොකද ,ඒක කැමරා අංශය වගේම Special Effect සම්බන්ධ අයට පහසු වෙන නිසා...
ඉතිං චිත්‍රපටයක Art Department එකට පැවරෙන වැඩ රාජකාරී ප්‍රමාණය වගේම මේ කණ්ඩායමේ ඉන්න අය ගානත් සුළුපටු නැහැ...
07.Production Sound
චිත්‍රපටයේ ඡායාරූපකරණ ඒකකය නැත්නම් Camara Department එකට සමාන්තරව යන අනිත් වැදගත්ම ඒකකය තමයි ශබ්ද ඒකකය නැත්නම් Production Sound unit කියන්නේ...මේ ඒකකය ශබ්ද පටිගත කිරීමේ ශිල්පි (Production Recordist ) නැත්නම් සමහර තැන්වලදී ශබ්ද සම්මිශ්‍රණය කරන්නා (Sound Mixer) යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ...මේ ඒකකයේ ප්‍රධානම කාර්යය චිත්‍රපටය රූගත කරනකොට දෙබස් පටිගත කරන එක...සාමාන්‍යයෙන් චිත්‍රපටයක් රූගත කරනකොට මේ ඒකකයට එහාමෙහා අරන් යන්න පුළුවන් රෙකෝඩර් එකක්,Wireless Microphones, Portable Field Mixer එකක්, Shotgun Microphone සහ Boompole කියන උපාංග අත්‍යවශ්‍යම වෙනවා...
සාමාන්‍යයෙන් Room Tone නැත්නම් පසුබිම් හඬත් දෙබස් වල හිස්තැන් පුරවන්න පටිගත කරනවා..මේ ඒකකය යටතේ ඉන්න Boom Oparator කියන නෙනා දෙබස් පටිගත කරන්න මයික්‍රෆෝනය රිටක් වගේ ආධාරකයන සවි කරලා උඬින් අල්ලනවා සමහර වෙලාවට රැහැන් රහිත මයික්‍රෆෝන් නළු නිළියන්ගේ ඇඳුම් වල පේන්නේ නැති වෙන්න හයි කරන්නත් පුළුවන්....
ඊළඟට ඉන්න The Third man කියන්නේ අතිරේක මයික්‍රෆෝන රැහැන් සවි කරන්න,අතිරේක ශබ්ද පටිගත කරන්න මේ ඒකකයේ ඉන්න තවත් කෙනෙක්...
08.Location Department
චිත්‍රපටයට අවශ්‍ය දර්ශන තල ගැන භාරව ඉන්න මේ ඒකකය චිත්‍රපටය රූගත කිරීම් නැත්නම් Principle Photography කාලයට කලින් දර්ශන තල හොයාගෙන ඒවා ඒ ඒ ස්ථාන සංවිධාන කරගන්න කටයුතු භාරව ඉන්නවා...මේ ඒකකයේ ඉන්න අය විදියට Location Manager,Location Assistants , Location Scouts කියන අය හදුනගන්න පුළුවන්....
09.Special Effect
විශේෂ ප්‍රයෝග ඒකකයේ කාර්යය වෙන්නේ චිත්‍රපටයේ ප්‍රයෝග රූප (Process Shot - ඒ කියන්නේ වෙඩි වැදුන කෙනෙක්,අතක් පයක් කැපිලා තියෙන විදිය වගේ ) , කුඩා අනුරූ ( Miniatures) , පරිගණක රූප වගේ දේවල් ගැන හොයලා බලන එක...මේකේ ඉන්න Special Effect Coordinator / Supervisor තමයි චිත්‍රපටයේ පූර්ව නිෂ්පාදන සිදුවෙන කාලයේදි Director, Production Designer , Cinematographer වගේම සක්‍රියව දායක වෙන අනිත් කෙනා වෙන්නේ...
10.Editorial and Post Production
මේ කතා කරන්නේ චිත්‍රපට සංස්කරණය කණ්ඩායම වගේම දෘෂ්‍ය ප්‍රයෝග කණ්ඩායම ගැන...
දෘශ්‍ය ප්‍රයෝග ඒකකය කියන්නේ අද වෙනකොට චිත්‍රපටයක වැදගත්ම කණ්ඩායමක්...මෙතන ප්‍රධානියා වුන VFX Supervisor යටතේ විශාල පිරිසක් ඉන්න පුළුවන්...Avengers End Game චිත්‍රපටයේ VFX නිර්මාණකරුවන් විදියට 14,000 ක් සහභාගී වෙලා තියෙනවා...
සංස්කරණයේදි සිද්ධ වෙන්නේ මොකද්ද කියන දේ අපි සංස්කරණය නැත්නම් Film Edit කියන එකේදි කතා කලා මතක ඇති...ඉතිං මෙතනදී Editor , Assistant Editor , Colourist කියන අය හදුනගන්න පුළුවන්...එයාලා චිත්‍රපටයේ රූප හා දෙබස් තියන දර්ශන පෙළගැස්සුවාට පස්සේ ඊළඟට යන්නේ මේක ශබ්ද සංස්කාරකවරයා නැත්නම් Sound Editor ට...මෙයාගේ සහයට කිහිප දෙනෙක්ම ඉන්නවා...මෙතනදි චිත්‍රපටයේ අධ්‍යක්ෂක, සංගීත අධ්‍යක්ෂකවරයා වගේම මේ ශබ්ද හා රූප සංස්කාරක දෙන්නාම කියන අය එකතු වෙලා තීරණය කරනවා සංගීතය වගේම විශේෂ ශබ්ද එන්න ඕනි කරන තැන් මොනවද කියලා...මේක Spotting කියලාත් හදුන්වනවා...
සමහර වෙලාවට චිත්‍රපටයේ අනිත්මට තියෙන ගොඩාක් දෙබස් දර්ශන තලයේදි පටිගත කරපු ඒවා නොවෙන්න පුළුවන්...අපැහැදිලි තැන් බලලා වෙනස් වෙන්න ඕනි කියන තැන් වලට ආපහු පසු නිශ්පාදනයේදි හඬ පටිගත කරන්න පුළුවන්...ඒකට තමයි හඬ කැවීම නැත්නම් පටිගත කිරීම කියන්නේ...මේ විදියට පසුනිෂ්පාදනයේදි හඬ පටිගත කරන ක්‍රියායලියට කියන්නේ ADR (Automated Dialogue Replacement) කියලා...
මේ විදියට එන අවසන් දළ සංස්කරණ පිටපත නැත්නම් Finale Cut එක සංගීත අධ්‍යක්ෂකවරයා බලලා තීරණය කරනවා චිත්‍රපටයේ සංගීත ඛණ්ඩ එන්න ඕන තැන් මොනවද කියලා....අන්තිමට මේ විදියට හදන දෙබස්, විශේෂ ශබ්ද , සංගීතය කියන මේ හඬ පටි සේරම Finale Mix එකේදි එක හඬ පටියකට ගන්නවා...මේක කරන්නේ Recording Mixer කියන කෙනා...
11.Stunt Unit
මේ විදියට කතා කරපු චිත්‍රපටයකට සම්බන්ධ වෙන විවිධ ඒකක ගැන කතා කරනකොට තව නතා කරන්න ඕනම පිරිසක් තමයි Stunt ඒකකය කියන්නෙත්...Stunt Coordinator ලා යටතේ ඉන්න Stunt Performer ලා තමයි චිත්‍රපටයේ තිරය පිටුපස ඉඳලා අපි දකින නළු නිළියන්ට කරන්න අමාරු දේවල් වෙනුවෙන් අභියෝගය භාර ගන්න අය වෙන්නේ...හොලිවුඩයේ මේ ස්ටන්ට් ශිල්පියෙක් වෙනවා කියන එක සමහර වෙලාවට ජීවිත අවධානමක් එක්ක ගන්න අසීරු වැඩක්....
12.Catering
වැඩ කරන්න කන්න ඕන...ඉතිං චිත්‍රපටයක රූගත කිරීම් කරනකොට ඉන්න හැමෝගෙම බඩපුරවන්න ඉන්න කණ්ඩායම තමයි මේ....
මේ විදියට අපි හොයලා බැලුවේ දැවැන්ත නිෂ්පාදන වියදමක් එක්ක සිද්ධ වෙන චිත්‍රපටයකට සම්බන්ධ කාර්යය මණ්ඩලය ගැනයි...මේවිදියට චිත්‍රපටයක් වෙනුවෙන් සම්බන්ධ වෙන විවිධ දෙපාර්තමේන්තු යටතේ බිහිවෙන නව රැකියා අවස්ථා ගණන හොලිවුඩයේ 50,000ක් විතර වෙනවා...ඒ තමයි සිනමාව කර්මාන්තයක් විදියට දියුණු වෙනකොට තියෙන වාසිය...ඉතිං මේවිදියට සිය දහස් ගානක් මේ වෙලාවෙත් චිත්‍රපටයක් නිර්මාණය කරන්න තමන්ගේ ශ්‍රමය කාලය කැප කරනවා ඇති..ඉතිං ඊළඟ ලිපිවලින් අපි බලමු චිත්‍රපටයක වැදගත්ම සාමාජිකයන් විදියට අධ්‍යක්ෂක ,සහය අධ්‍යක්ෂක වගේම කැමරා අධ්‍යක්ෂකගේ කාර්යය භාරය මොන වගේද කියලා....

0 Comments