සිනමා නිර්මාණයක් බිහිවෙන්නේ විවිධ අංශ වල විවිධ ශිල්පීන්ගේ එකතුවෙන්... සාර්ථක සිනමා නිර්මාණයක් පිටුපස ඒ හැම ශිල්පියෙක්ම තමන්ගේ කාලය ශ්‍රමය වැය කරලා තියෙනවා....එකී සිනමා නිර්මාණකරුවන් නිසා අදටත් සිනමාව නම් දෘශ්‍ය කලාව ජීවමානයි....
අපි කලින් ලිපියක කතා කලා සිනමා අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව කොහොමද ඔහුගේ හො ඇයගේ වගකීම් මොනවද කියලා...අද අපි කතා කරන්න යන්නේ අධ්‍යක්ෂකවරයාට පස්සේ තිරය පිටුපස චිත්‍රපටයක තවත් ප්‍රධාන වැදගත් භූමිකාවක් වන කැමරා අධ්‍යක්ෂක (DOP) නැත්නම් සිනමා ඡායාරූපකරණ ශිල්පියා (Cinematographer) ගැන කතා කරන්න......
සිනමා ඡායාරූපකරණ ශිල්පියා ගැන කතා කරන්න කලින් අපි සිනමාඡායාරූපකරණය නැත්නම් සිනමැටෝග්‍රැෆිකරණය කියන්නේ මොකද්ද කියලා බලමු.....
Cinematography
ඡායාරූපකරණය (Photography) කියන්නේ විද්‍යුත් වශයෙන් රූප සංවේදකයකට හෝ රසායනිකව පටලයකට ආලෝකය පටිගත කිරීමේ කලාව සහ විද්‍යාවයි.
සිනමැටෝග්‍රැෆිකරණය නැත්නම් සිනමා ඡායාරූපකරණය කියන්නේ චලන රූපවල ඡායාරූපකරණ කලාව සහ දෘශ්‍ය කථනය නැත්නම් Visual Storytelling දෙකෙහි එකතුවයි...
සිනමැටෝග්‍රැෆි කියනකොට අපි ඒ චලන රූපයේ ඇහැට දකින, අපිට දෘශ්‍ය වෙන හැමදේම අයිති වෙනවා....ඒ දේවල් වෙන වෙනම මොනවද කියලා බැලුවොත්,
ආලෝකකරණය(lighting) ,
රූප රාමු සැකස්ම (Framing),
කැමරා සංයෝජනය (Composition),
කැමරා චලනය (Camara Motion),
කැමරා කෝණ(Camara Angles),
සේයාපටල (film) තෝරාගැනීම,
කාච (Lens) තෝරාගැනීම ,
ක්ෂේත්‍ර ගැඹුර (Depth of Field) වගේම,
Zoom, Focus,Color,Expossure සහ Filtration කියන මේ හැමදේම ඒ යටතට අයිති වෙනවා...
දැන් අපි සිනමා ඡායාරූපකරණ ශිල්පියා නැත්නම් කැමරා අධ්‍යක්ෂකවරයා ගැන කතා කරමු....
Cinematographer / Director of Photography (DOP)
සිනමා ඡායාරූපකරණ ශිල්පියා නැත්නම් කැමරා අධ්‍යක්ෂක කියන්නේ චිත්‍රපටයක කැමරාව හා ආලෝකකරණය මෙහෙයවන නැත්නම් අදාල අංශ දෙක භාරව ඉන්න ප්‍රධානියා......මේ ශිල්පියා චිත්‍රපටයක සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය පුරාම දායක වෙන කෙනෙක්....තිරපිටපත දෘශ්‍ය කලා මාධ්‍යක් කරන අධ්‍යක්ෂකවරයා එක්ක වඩාත්ම සමීප පුද්ගලයා විදියට අපිට සිනමාඡායාරූපකරණ ශිල්පියාව හදුනගන්න පුළුවන්....
සිනමාඡායාරූපකරණ ශිල්පියා නැත්නම් Cinematographer , කැමරා අධ්‍යක්ෂක නැත්නම් Director of Photography (DOP හෝ DP) විදියටත් සමහර චිත්‍රපට වල Shot by, Lighting Camaraman, Director of Cinematography , Photographd by යටතේ පවා හදුන්වාදීලා තියෙනවා....
1997-2016 දශක දෙකක කාලයක් පුරාවට නිකුත් වුණු ඇමරිකානු චිත්‍රපට 4000කින් කරපු සමීක්ෂණයකින් හෙළිකරගෙන තියෙනවා, ඒ චිත්‍රපට වලින් 58.4% ක Director of Photography යටතේත් 40.8% ක Cinematographer විදියටත් 0.8% ක වෙනත් විදියටත් මේ ශිල්පියාව හදුන්වලා දීලා තියෙනවා කියලා...ඉතිං මේ මොන නමින් හැඳින්වුවත් කැමරා අධ්‍යක්ෂක හා සිනමාඡායාරූපකරණ ශිල්පියා කියන්නේ එක්කෙනෙක්....
ඇත්තටම සිනමාඡායාරූපකරණ ශිල්පියා නැත්නම් කැමරා අධ්‍යක්ෂකවරයාට මොකද්ද කරන්න තියෙන්නේ?...ප්‍රධාන කරුණු කිහිපයක් යටතේ දැන් අපි ඒ ගැන බලමු...
⭕තිරපිටපත අධ්‍යනය
⭕චිත්‍රපටයට සම්න්ධ චිත්‍රපට හා සිනමාකරණ (Cinematic) තාක්ෂණික ශිල්පීය ක්‍රම ගැන පර්යේෂණ හා ගවේෂණය කිරීම..
⭕අධ්‍යක්ෂකවරයා සමඟ එකතු වී Shot List,Floor Plan හා Lighting Diagrams නිර්මාණය කර ගැනීම
⭕කැමරා හා ආලෝකකරණ අංශ මෙහෙයවීම
⭕කැමරා , කාච, ලයිට්, ෆිල්ටර්ස් ඇතුළු ආලෝකකරණ හා කැමරාකරණ උපාංග ගැන අධ්‍යක්ෂකවරයා සමඟ සාකච්ඡා කර තීරණය කිරීම
⭕Aspect Ratio , Image Contrast සහ Frame Rate ගැන තීරණය කිරීමේ වගකීම ගැනීම
⭕ප්‍රේක්ෂකයාට දනවන්න පුළුවන් ආකාරයට නැත්නම් හොඳ ප්‍රතිචාර ලබාගන්න පුළුවන් විදියට කැමරාව හැසිරවීම හා ආලෝකකරණ ක්‍රම ගැන අධ්‍යක්ෂකවරයා සමඟ තීරණය කිරීම
⭕වර්ණ සංයෝජනයේදි අධ්‍යක්ෂකවරයා හා වර්ණ සංයෝජක ශිල්පියා සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම..
හොඳ කැමරා අධ්‍යක්ෂකවරයෙක් කියන්නේ හැමවෙලාවෙම වෙනස් දේවල් කරලා බලන්න අත්හදා බලන්න යොමු වෙන කෙනෙක්....ස්ටැන්ලි කූබ්රික් අධ්‍යක්ෂකවරයා එක්ක ගොඩාක්ම වැඩ කරපු සිනමැටෝග්රැෆිකරණ ශිල්පියා වුණු John Alcott ට කූබ්රික්ගේ Barry Lyndon චිත්‍රපටයේදි අවශ්‍ය වෙනවා අළුත් ශිල්පීය ක්‍රමයක් අත්හදා බලන්න...ඒ තමයි ස්වාභාවික ආලෝකකරණයෙන් විතරක් චිත්‍රපටය නිර්මාණය කරන්න...මේ අදහස කූබ්රික් එක්ක කතා කරගෙන වැඩේ කරනකොට නිවස ඇතුලත දර්ශනයකදි ඉටිපන්දම් ආලෝකය විතරක් ඔවුන් යොදාගන්නවා...ඒක කරන්න අපහසු වුන නිසා වෙනමම කැමරා කාචයක් නාසා ආයතනයෙන් ඔවුන් සපයගන්නවා...
අැකඩමි සම්මාන දිනු Roger Deakins කැමරා අධ්‍යක්ෂකවරයා සම්බන්ධ වෙන 1917 චිත්‍රපටය කියන්නේ ඔහු ආලෝකකරණය ගැන පුළුල් අධ්‍යනයක් හා අත්හදාබැලීමක් කරපු චිත්‍රපටයක්...ඒ විතරක් නෙවෙයි චිත්‍රපටයේදී ඔහු Long Take හා Tracking Shots ඔහුගේ වෙන කිසිම නිර්මාණයකට වඩා භාවිතා කරන්නේ ඔහුගේ තියෙන හැකියාව හා පළපුරුද්ද ප්‍රයෝජනයට අරගෙන....
ප්‍රවීණ හොලිවුඩ් චිත්‍රපට නිර්මාණකරුවෙක් වුන David Lynch සිනමාඡායාරූපකරණ ශිල්පියා සතු වගකීම් හා යුතුකම් 6ක් පෙන්වලා දීලා තියෙනවා...
01.චිත්‍රපටයට අදාල දෘශ්‍ය ශෛලිය (Visual Style) හදුනාගැනීම
Visual Style කියන්නේ චිත්‍රපටයක අනන්‍යතාවයක් වගේම අධ්යක්ෂකවරයෙක්ගේ අනන්‍යතාවයක්... අධ්යක්ෂකවරයෙක්ගේ Visual Style එක කැමරා අධ්‍යක්ෂකවරයා අදුරගත්තාම දෙන්නාට දෙන්නා අවබෝධයෙන් වැඩේ කරගෙන යන්න පහසු වෙනවා...ඒ නිසාම තමයි ගොඩාක් වෙලාවට අධ්‍යක්ෂකවරු එකම කැමරා අධ්‍යක්ෂකවරයෙක් හෝ වරුන් එක්කම වැඩ කරන්න යොමු වෙන්නේ...ඒ අධ්යක්ෂකලේ විෂුවල් ස්ටයිල් එක චිත්‍රපටයට අරන් එන වගකීම කැමරා අධ්‍යක්ෂකවරයාගේ වගකීමක් වෙනවා...
02.කැමරාව නිවැරදිව මෙහෙයවීම
අධ්‍යක්ෂකවරයාට වගේම කැමරා අධ්‍යක්ෂකවරයාගෙත් යුතුකමක් හා වගකීමක් තමයි චිත්‍රපටයේ දර්ශන වලට සුදුසු කැමරාව,ලෙන්ස්,කැමරා කෝණ,කැමරා තාක්ෂණික ක්‍රම වගේම කැමරාව තියන්නේ කොතනද කියන එක පවා සොයාබලන එක වගේම ඔහුගේ අදහස් ඉදිරිපත් කරන එක...
ලෝ බජට් ෆිල්ම් වල ගොඩාක් වෙලාවට කැමරාව හසුරවන්නෙත් කැමරා අධ්‍යක්ෂකවරයාමයි...ඒත් සාමාන්‍යයෙන් කැමරාව හසුරවන කෙනා තමයි DOP යටතේ ඉන්න Camara Oparator...
03.ආලෝකකරණය සිදුකරන ආකාරය හදුනාගැනීම
අධ්‍යක්ෂකවරයා බලාපොරොත්තු වෙන විෂුවල් මූඩ් එක අනුව ලයිටින් බැලැන්ස් කරන්නේ කොහාමද කොහොමද රූපරාමුවේ ගැඹුර කන්ට්‍රාස්ට් එක ඒ දේවල් හදන්නේ කොහොමද කියන එක හොයලා බලන එක සිනමාඡායාරූපකරණ ශිල්පියාගේ වගකීමක්...
04.හැම දර්ශන තලයක්ම හොඳින් අධ්‍යනය කිරීම
මේකේ තේරුම තමයි අපි නොහිතන විදියේ ෆ්‍රේම් ලොකේෂන් වල තියෙන්න පුළුවන්...සමහරවිට අධ්‍යක්ෂකවරයා කලින් නොහිතපු සැලසුම් නොකරපු දෙයක් වෙන්න පුළුවන්... එහෙම දර්ශන තලයේ අදාල දර්ශනයට අදාලව යම් යම් නිර්දේශ අධ්යක්ෂකවරායාට ඉදිරිපත් කිරීම කැමරා අධ්යක්ෂකවරයෙක්ට කරන්න පුළුවන් දෙයක්
05.පෙරපුහුණු වීම් (Rehearsal) වලට සම්බන්ධ වීම..
06.අධ්‍යක්ෂකවරයාගේ දැක්ම මුදුන්පත් කිරීම...
හොඳ සිනමා ඡායාරූපකරණ ශිල්පියෙක් නැත්නම් කැමරා අධ්‍යක්ෂකවරයෙක් අධ්‍යක්ෂකවරයාගේ දැක්ම කැමරාව ඉදිරියේ ජීවනය කරන්න සමත් වෙනවා වගේම තමයි අධ්‍යක්ෂකවරයා නෙසිතන අදහස් හා සංකල්ප ඔහුට ඉදිරිපත් කිරීමත් කැමරා අධ්යක්ෂකවරයෙක්ගේ යුතුකමක් වෙනවා....
ඉතිං මේ විදියට අපි කතා කරපු සිනමාඡායාරූපකරණ ශිල්පියා නැත්නම් කැමරා අධ්‍යක්ෂකවරයා කියන චරිතය විශිෂ්ඨ වෙන්නේ අත්දැකීම් හා අත්හදාබැලීම් වලින්...චිත්‍රපටයක අධ්‍යක්ෂකගේ කාර්යය භාර්යය හා සමාන කාර්යයක් කැමරා අධ්යක්ෂකත් සතු වෙනවාමයි....
ඉතිං අද මේ විදියට කතා කරපු කැමරා අධ්‍යක්ෂක නැත්නම් සිනමාඡායාරූපකරණ ශිල්පියා ගැන වගේම සිනමැටෝග්‍රැෆිකරණය ගැන ඔබේ අදහස් දැනුම බෙදාගන්න මේ ලිපිය අවසානයේ ආරාධනා කරනවා...තවත් තිරය පිටුපස චරිතයකින් නැවත හමුවෙමු...
1 Comments
Goof work Keep Continue
ReplyDelete